හැනා ඇරන්ඩ්ට්ගේ දේශපාලන දර්ශනය


විසිවන සියවසයේ ලෝකයට කැපීපෙනෙන සුවිශේෂී දැනුම් සම්භාරයක් එක් කළ පුද්ගලයින් අතර හැනා ඇරන්ඩ්ට්ට (Hannah Arendt) හිමි වන්නේ වැදගත් ස්ථානයකි. ඇරන්ඩ්ට් දේශපාලන දර්ශනිකයෙකු ලෙස තම කෘති හරහා විශාල පාඨක සමාජයක් වෙත දැනුම සම්ප්‍රේෂණය කිරීමට සමත් වූ අතර බලය (Power), අධිකාරීත්වය (Authority) සහ සර්ව-අධිකාරවාදය (Totalitarianism) පිළිබඳව අදහස් තවමත් ඇකඩමික ලෝකයේ සාකච්ඡාවට බඳුන් වන මාතෘකා වෙයි. එමනිසා මෙම ලිපියෙහි අරමුණ බවට පත්වන්නේ හැනා ඇරන්ඩ්ට් නම් දාර්ශනිකයා ඉදිරිපත් කළ අදහස් සහ එම අදහස්වල සමකාලීන අදාළතාව පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් පාඨකයින් වෙත ඉදිරිපත් කිරීමයි.

ඇරන්ඩ්ට්ගේ ජීවිතය

1906 වසරේ ඔක්තෝම්බර් 14 වන දින ජර්මනියේ ලින්ඩන්හීදී යුදෙව් ජාතික පවුලක උපත ලබන ඇය සොරෙන් කියකිගාර්ඩ්(Søren Kierkegaard) වැනි ලේඛකයින් කියවා ලබාගත් අනුප්‍රාණයෙන් තම ඇකඩමියානු විෂය පථය ලෙස තෝරාගන්නේ දර්ශනය විෂයයි. බර්ලින්හිදී තම ද්විතියික අධ්‍යාපනය සම්පූර්ණ කරනා ඇය, මාබර්ග් විශ්වවිද්‍යාලයේ (Marburg University) තම උසස් අධ්‍යාපනය ආරම්භ කරන්නේ මාර්ටින් හෛඩෙගාර් (Martin Heidegger) යටතේ ය. එමෙන්ම, ඇය තම ආචාර්ය උපාධිය සම්පූර්ණ කරන්නේ 1929 වර්ෂයේ හෛඩ්ල්බර්ග් විශ්වවිද්‍යාලයේදී (Heidelberg University) සාන්දෘෂ්ටික දාර්ශනිකයෙකු වූ කාර්ල් ජැස්පර්ස් (Karl Jaspers) යටතේ යටතේ ය. ඇය එක්සත් ජනපදයේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ (Princeton University) දර්ශනය ඉගැන්වූ පළමු කාන්තාව ලෙස සැලකෙයි.

1929 වසරේදී ජර්මානු ජාතික දාර්ශනිකයෙකු, මාධ්‍යවේදියෙකු සහ විචාරකයෙකු ලෙස කටයුතු කළ ගුන්තර් ස්ටෙයන් (Günther Stern) සමග විවාහ වන ඇය නාසි ජර්මනියේ යුදෙව් විරෝදයට එරෙහිව කටයුතු කළ හේතුවෙන් අත් අඩංගුවට පත්වන අතර සිරභාරයෙන් නිදහස්ව චෙකොස්ලෝවැකියාවේත්, ස්විට්සර්ලන්තයේත් ජීවත් වූවා ය. 1937 වසරේදී තම ජර්මානු පුරවැසිභාවය ඇයට අහිමි වන අතර, එම වසරේදීම ගුන්තර් ස්ටෙයන්ගෙන් වෙන්වී 1940 වසරේදී ජර්මානු ජාතික කවියෙකු සහ දාර්ශනිකයෙකු වන හෙන්රික් බ්ලුශර් (Heinrich Blücher) සමග විවාහ වන්නී ය. 1941 වසරේදී පෘතුගාලය හරහා එක්සත් ජනපදයට පලායන ඇය නිව්යෝර්ක්හි තම ජීවිතයේ ඉතිරි කාලය ගත කළා ය. Jewish Cultural Reconstruction හි ලේඛිකාවක ලෙසත් සංස්කාරකවරියක ලෙසත් කටයුතු කරන ඇරන්ඩ්ට්, 1950 වසරේදී එක්සත් ජනපදයේ පුරවැසිභාවය ලබාගත්තා ය. 1951 වසරේ ඇය විසින් රචිත The Origins of Totalitarianism කෘතිය ලොව පුරා සුවිශාල කතාබහක් ඇතිකරලීමට සමත් වූ අතර ඉන් නොනැවතී ඇය 1958දී The Human Condition කෘතියත් 1963 වසරේදී Eichmann in Jerusalem, සහ On Revolution නම් කෘතින් දෙකත් රචනා කළා ය. මීට අමතරව ඇය විසින් 1961 වසරේදී Between Past and Future කෘතියත්, 1968 වසරේදී Men in Dark Times කෘතියත්, 1972 වසරේදී Crises of the Republic වැනි කෘතීන් ද රචනා කර තිබේ. ඒ අතරේ එක්සත් ජනපදයේ විවිධ විශ්වවිද්‍යාල ගණනාවක සේවය කරන ඇරන්ඩ්ට් වසය අවුරුදු 69දී එනම්, 1975 වසරේ දෙසැම්බර් මාසයේ 05 වන දින හෘදයාබාධයක් හේතුවෙන් අභාවයට පත්වූවා ය. ඒ වනවිටත් අවසන් නොකළ ඇයගේ The Life of the Mind නම් වෙළුම් තුනකින් පාඨකයා අතට පත් වූ කෘතිය ඇයගේ අභාවයෙන් පසු ජනගත කෙරුණි.

The Origins of Totalitarianism 

උපතින් යුදෙව් ජාතිකයෙකු වීමත්, යුරෝපයේ සාම්ප්‍රදායික ජාතික රාජ්‍ය (Traditional Nation State) බිඳවැටීම හේතුවෙන් සර්ව අධිකාරිමය පාලනයක් (Totalitarian regimes) නැගී ඒමත්, යුදෙව් විරෝදී (Antisemitistm) ආකල්ප පිළිබඳව විග්‍රහයක යෙදීමේ අවශ්‍යතාවත්, සර්ව අධිකාරීමය පාලන තන්ත්‍රයන් විසින් මිනිසා පාලනය කිරීම සහ ඔවුන් පරාරෝපණය (Alienation) වී පුද්ගල අනන්‍යතාවන් අහෝසි වී යාමත් වැනි හේතූන් ඇරන්ඩ්ට් The Origins of Totalitarianism (1951) කෘතිය රචනා කිරීමේදී බලපා තිබෙන බව පැහැදිලි ය. මෙම කෘතිය තුළ ඇරන්ඩ්ට් උත්සහ කරන්නේ සර්ව අධිකාරී පාලන තන්ත්‍රයන්හි ස්වභාවය පිළිබඳව නාසිවාදය (Nazism) සහ ස්ටාලින්වාදය (Stalinism) වෙත විශේෂ අවධානයක් යොමු කරමින් අධ්‍යයනයක යෙදීමයි. යුදෙව් විරෝදී මතවාද, අධිරාජ්‍යවාදය (Imperialism), සහ සාම්ප්‍රදායික ජාතික රාජ්‍යයන්ගේ බිඳවැටීම පිළිබඳව වැනි වූ 20වන සියවසයේ මුල්භාගයේ ලොව සිදුවූ විවිධ සමාජ දේශපාලනික සිදුවීම් පිළිබඳව විමර්ශනයක ඇය යෙදෙයි.  ඇරන්ඩ්ට් මතුකරන ආකාරයට, සර්ව අධිකාරිය අනෙකුත් පාලන ක්‍රමවලින් වෙනස් වන්නේ එය සතු දෘෂ්ටිවාදාත්මක ස්වරූපයත් භීෂණය මත පදනම්ව පාලනය ගෙනයෑමත් යන කරුණු මතයි. අඥාදායකයින්ගේ කුරිරු පාලනයට වඩා සර්ව-අධිකාරී පාලනය තුළ අරමුණු කරන්නේ පොදු මිනිසාගේ පෞද්ගලික ජීවිතය සහ සිතුවිලිවලට බලපෑම් කිරීම මගින් ඔවුන්ගේ දේශපාලනික ජීවිතය හැසිරවීමයි. සර්ව අධිකාරී පාලනයක් ගෙනයෑමට නම්, ශක්තිමත් දේශපාලන ප්‍රචාරණ යාන්ත්‍රණයක් (Political propaganda) පවත්වාගෙන යාමත්, ඒ මගින් යථාර්ථය පදනම් කරගත් දෘෂ්ටිවාදාත්මක බොරු නිර්මාණය කිරීමත් අවශ්‍ය බව ඇරන්ඩ්ට් අවධාරණය කරයි. මෙමගින් සමාජය පාලනය කිරීම පහසු ය. මේ අදහස් වැඩි වශයෙන් පැහැදිලි කරමින් මෙම කෘතිය තුළ ඇය උත්සහ කරන්නේ පුද්ගල ස්වභාවයන්හි අධිකාරීත්වය ස්ථාපිත කරමින් පුද්ගලයාගේ නෛසර්ගික අනන්‍යතාවන් ඉවත් කිරීමට සර්ව අධිකාරී පාලන තන්ත්‍රයන් විසින් දරන උත්සහය පිළිබඳව විග්‍රහයක නියැලීමයි. 

The Human Condition

The Human Condition (1958) කෘතිය තුළ ඇරන්ඩ්ට්ගේ අරමුණ බවට පත්වන්නේ ‘Vita Activa’ නොහොත් ‘ක්‍රියාකාරී ජීවිතය’ නම් සංකල්පය යොදාගනිමින් මිනිස් ජීවිතයේ මූලිකාංගයන් ගවේෂණය කිරීමයි. මෙහිදී ඇය මිනිස් ක්‍රියාකාරකම් මූලිකව Labor, Work සහ Action යන වර්ග තුනක් ලෙස දක්වයි. Labor යනු, පුද්ගලයෙකු ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය ජීව විද්‍යාත්මක ක්‍රියාකාරකම් වෙත යොමුවීමයි. එනම් තම පැවැත්ම සනාථ කරගැනීම සඳහා තම ශරීරය නඩත්තු කිරීමේ අවශ්‍යතාවයයි. Work යනු, පුද්ගලයාගේ නිර්මාණශීලී දක්ෂතාවන් මගින් ලෝකය පරාවර්තනය කිරීමට ඇති හැකියාවයි. එහි ප්‍රතිඵලයක් ලෙස විවිධ මෙවලම් සහ ආකෘතින් නිර්මාණය කිරීමට මිනිසාට හැකියාව ඇත. තෙවනුව Action යනු, මානව ක්‍රියාකාරකම්වල ඉහළම ස්වභාවයයි. එනම්, පුද්ගලයා සහ සමාජය නැතහොත් ප්‍රජාව අතර අන්තර් සම්බන්ධතාව එමගින් නියෝජනය කරයි. පොදු මිනිසාට රාජ්‍යය පිළිබඳව ඇති අයිතිය සහ සබඳතාව පිළිබඳව අදහසක් දැක්වීමට මෙහිදී ඇරන්ඩ්ට් උත්සහ කරයි. පුද්ගලයෙක් සතු නිදහස සහ බහුවිධතාවන් (Plurality) මත පදනම්ව, නව නැඹුරුතාවන් ඇතිකරලීමට ඇති හැකියාව මෙමගින් ඇය අදහස් කර තිබේ. ඇරන්ඩ්ට් අවධාරණය කරන ප්‍රධානතම කරුණ බවට පත්වන්නේ පොදු මිනිසා සතු සාමූහික ක්‍රියාකාරකම්වල යෙදීමටත්, සාකච්ඡා කිරීමටත් ඇති සමර්ථතාවයි. දේශපාලනික වෙනස්කම් සිදුකිරීමට නම් පොදු මිනිසාට එක්ව සාකච්ඡා කළ හැකිවිය යුතු ය. මෙහිදී ඇය Public Sphere නම් සංකල්පයක් ගෙන එයි. සියලු පුද්ගලයින් ඒකරාශී වන්නේ මෙම Public Sphere තුළයි. නූතන සමාජය තුළ මෙම පොදු ක්ෂේත්‍රය අවප්‍රමාණය වන බව ඇරන්ඩ්ට්ගේ අදහසයි. එමගින් අර්ථවත් දේශපාලන මැදිහත්වීම් සහ මානව නිදහස අහිමි විය හැකි බවත් ඇය මෙම කෘතිය තුළ දක්වා තිබේ. 

උදාහරණයක් ලෙස රාජ්‍යයක් තුළ දේශපාලනය කිරීමේ අයිතිය හිමි වන්නේ පොදු ජනතාවටයි. නමුත් ඇරන්ඩ්ට් දක්වන්නේ ලිබරල්වාදී දේශපාලනයක් තුළ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අයිතින් පිළිබඳව බරපතළ ලෙස සාකච්ඡාවට ගැනුනත් එතුළ ක්‍රියාකාරී පුරවැසිභාවයක් දැකිය නොහැකි බවයි. ලිබරල්වාදය් තුළ පුද්ගලයෙකු පරාරෝපණය වීමේ හැකියාව පවතී. තමාගේ පැවැත්ම ස්ථාපිත කරගත නොහී සර්ව අධිකාරීමය පාලනයක් වෙත ඔවුන්ව රැගෙන යන බව ඇය පැහැදිලි කරයි. ඇය දක්වන්නේ නිවැරදි දේශපාලන ක්‍රියාකාරිත්වය යනු ඡන්දය ලබාදීම පමණක් නොව මිනිසුන් දේශපාලනයෙහි ක්‍රියාශීලීව යෙදීමයි. එනම් දේශපාලනය පිළිබඳව මහජන කතිකාවක් ඇති විය යුතු ය. එමගින් ජනතාව එකට එක්ව ප්‍රජාව තුළ පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමත් වැදගත් ය. නමුත් සර්ව අධිකාරිමය දේශපාලනයක් තුළ ප්‍රජාව වෙත හිමි බලය අඩු ය. දේශපාලනය පිළිබඳව විවෘත සාකච්ඡාවට ඇති ඉඩකඩ අඩු ය.

Eichmann in Jerusalem 

මෙම කෘතිය නාසි ජර්මනියේ සමූලඝාතනයන්ට මුල් වූ ප්‍රධාන සංවිධායකයෙකු වන ඇඩොල්ෆ් අයික්මාන්ගේ (1906-1962) නඩු විභාගය පිළිබඳව ඇරන්ඩ්ට්ගේ වාර්තාවයි. ඇයගේ සුප්‍රකට The Banality of Evil නම් සංකල්පය ඇය ඉදිරිපත් කරන්නේ මෙම කෘතියේයි. ඇය මෙහිදී නපුර නැතහොත් Evil පිළිබඳව ඒ වනවිට ඉදිරිපත්ව තිබුණු සාම්ප්‍රදායික මතවාදයනට අභියෝග කරයි. ඇය අයික්මාන් පිළිබඳව විග්‍රහ කරන්නේ ඔහු විසින් ලෝකයට සිදු කළ අමානුෂික සමූලඝාතනයන් පිළිබඳව ඇතිකරගත් ද්වේෂසහගත මනසකින් නොවේ. නමුත් ඉහළ නිළධාරීන්ගේ අණ නොසැලකිලිමත් ලෙස පිළිපැදි, දිගු වෘත්තිමය ගමනක් පිළිබඳව ආශාවෙන් කටයුතු කළ සාමාන්‍ය, නිළධාරිවාදී චරිතයක් ලෙසයි. (Neither perverted nor sadistic, but terrifyingly normal) අයික්මාන් යනු ක්‍රියාවන් සහ ඒවායේ සදාචාරාත්මක ස්වභාවය පිළිබඳව විමසා බැලීමට අපොහොසත් වූ පුද්ගලයෙකු ලෙස ඇරන්ඩ්ට් පැහැදිලි කරයි. එනම්, නපුරක් කිරීමේ අවශ්‍යතාවක් හෝ සිතුවිල්ලක් ඔහු සතුව නැත. නමුත් අණ ලැබුණු පරිදි එය ක්‍රියාවට නංවන ලදි.  

අයික්මාන් සතුව කිසිදු ආකාරයක දෘෂ්ටිවාදාත්මක දැනුමක් නොතිබුණු හේතුවෙන් ඔහු චින්තනයකින් තොරව අණ පිළිපැදි තවත් එක් නිළධාරියෙක් පමණක් බව ඇරන්ඩ්ට්ගේ අදහසයි. එනිසා ඔහුට තම ක්‍රියාවන්හි නියම ස්වරූපය කුමක්දැයි හඳුනාගැනීමට හැකියාවක් ලැබුණේ නැත. එහිදී ඔහු මනුෂ්‍යත්වය වෙත ඇති කළ වේදනාවේ ස්වභාවය හෝ හඳුනාගත නොහැකි පුද්ගලයෙකි. අයික්මාන් හිස් මිනිසෙකු (banal) ලෙස දක්වන ඇරන්ඩ්ට් නපුර (Evil) යන්න භයානක පෞරුෂයන් තුළ පවතින්නක් ය යන සාම්ප්‍රදායික මතයට අභියෝග කළා ය. ඇය දක්වන්නේ ස්වාධීන චින්තනයකින් තොර ඕනෑම සාමාන්‍ය පුද්ගලයෙකු මනුෂ්‍යත්වය වෙත අදහාගත නොහැකි ලෙස හානිකාරී ක්‍රියාවන්හි යෙදිය හැකි බවයි. නමුත් මේ හේතුවෙන් ඇය අයික්මාන් නිවැරදිකරුවෙකු ලෙස දුටුවේ ද නැත. අයික්මාන් එම සමූලඝාතනයන්ට වගකිව යුතු සහ ඒ වෙනුවෙන් දඬුවන් ලැබිය යුතු බව ඇයගේ අදහස විය. මෙම අදහස් විශාල මතභේදයන්ට සහ විවාදයන්ට මග පෑදූ අතර, The Banality of Evil යන සංකල්පය දෙවන ලෝක යුධ සමයේ සිදුවූ මෙම සමූලඝාතන පිළිබඳව ඉදිරිපත් වූ පටු අදහසක් ලෙස ද සමහර විචාරකයින් දක්වයි.  

ඇරන්ඩ්ට් ඉදිරිපත් කළ අදහස්හි වර්තමාන අදාළත්වය

ඇරන්ඩ්ට්ගේ අදහස් දර්ශනය විෂය වෙත විශාල බලපෑමක් එල්ල කළ බව නොරහසකි. ඇයගේ අදහස් දේශපාලන දර්ශනය පිළිබඳව හදාරන විද්‍යාර්ථීන්හට, දේශපාලනික නායකයින් සහ දේශපාලන ක්‍රියාකාරිකයන්ට තම අදහස් පිළිබඳව ගැඹුරින් තර්ක කිරීමටත් නවමු මතවාද ගොඩනැගීමටත් අදාළ කරගත හැකි ය. ඉහත දැක්වූ පරිදි සර්ව අධිකාරය (Totalitarianism) පිළිබඳව ඇයගේ අදහස් වර්තමාන දේශපාලන යාන්ත්‍රණයන් හඳුනාගැනීම සඳහා යොදාගත හැකි ය. දේශපාලනික වශයෙන් සිවිල් අයිතින් සීමා කිරීම, දේශපාලනික ප්‍රචාරන මාධ්‍යයක් ලෙස භීෂණය යොදාගැනීම සහ ජාතිවාදී අදහස් මගින් පුද්ගල අනන්‍යතා අහෝසි කිරීම වැනි පාලිත තත්වයන් යටතේ පොදු මනුෂ්‍යයාට අහිමිවීයන දේශපාලන අයිතින් පිළිබඳව ඇරන්ඩ්ට්ගේ අදහස් ලෝකය පුරා විවිධ දේශපාලන යාන්ත්‍රණයන් පිළිබඳව හැදෑරීමේදී ඉතා වැදගත් ය. දේශපාලන විද්‍යාඥයින් සහ ඉතිහාසඥයින් ඇය ඉදිරිපත් කළ අදහස් ඉතිහාසය තුළ බලයේ අරගලය පිළිබඳව හැදෑරීමේදී යොදාගනී. ඇයගේ අවශ්‍යතාව වූයේ නාසිවාදය (Nazism) සහ ස්ටාලින්වාදය (Stalinism) වැනි දැඩි අධිකාරීමය ස්වභාවයක දේශපාලන යාන්ත්‍රණයක් ඇති නොවීමට අවශ්‍ය දැනුම පොදු ජනයා තුළ ඇති කරලීමයි.

එමෙන්ම, ඇයගේ දෙවන කෘතියේදී ඉදිරිපත් කළ ආකාරයට පොදු මිනිසා ක්‍රියාකාරී දේශපාලන ජීවියෙකු ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාව ඇය ඉදිරිපත් කරයි. මෙමගින් දේශපාලනය තුළ පුද්ගල මැදිහත්බාවය ඉහළ නැංවීමටත් ප්‍රජාතාන්ත්‍රික අයිතින් තහවුරු කිරීමත් බල ගන්වයි. මෙමගින් ප්‍රජාවක් තුළ සාමූහික තීරණ ගැනීමේ ක්‍රියාවලිය සවිබල ගැන්වීමත්, වඩාත් විනිවිදභාවයකින් යුතු ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති කරලීමටත් දේශපාලන ක්‍රියාකාරකයින් උත්සහ ගනිමින් සිටියි. තෙවනුව, පුද්ගලයෙකු සතු සදචාරාත්මක වගකීම් සහ සමාජ විරෝධී ක්‍රියාවන්හි නිරත වීම පිළිබඳව ඇයගේ අදහස් ආචාරවිද්‍යාව (Ethics), මනෝවිද්‍යාව (Psychology), සහ අපරාධ යුක්තිය (Criminal Justice) පිළිබඳව අධ්‍යයනයන්හිදී භාවිතයට ගැනේ. ඇය දක්වන ආකාරයට පුද්ගලයෙක් සතුව විවේචනාත්මක චින්තනය සහ යම් සිදුවීමක සදාචාරාත්මක පැතිකඩ දැකීමට හැකියාවක් නොමැතිවීම ගැටලුවකි. යුධ අපරාධ, මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, සහ නිළධාරිවාදී පරිසරයන් තුළ මානව අයිතින් සහ වගකීම් පිළිබඳ සාකච්ඡාවේදී මෙම අදහස් පිළිබඳව සලකා බැලේ. මීට අමතරව ස්ත්‍රීවාදී ක්‍රියාකාරීන් (Feminism) විසින් ඇරන්ඩ්ට්ගේ මෙම අදහස් මත පදනම්ව ස්ත්‍රී පුරුෂ විෂමතා සහ භූමිකාවන් පිළිබඳවත් දේශපාලනික ව්‍යුහයන් තුළ කාන්තාවගේ සහභාගීත්වය වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබේ. සමාජය සහ ආර්ථිකය තුළ කාන්තාවගේ භූමිකාව හඳුනා ගැනීමේදීත් ඇරන්ඩ්ට්ගේ අදහස් තවදුරටත් අනුපාත කරගත හැකි ය.

සාරාංශය

දේශපාලන දාර්ශනිකයෙක් ලෙස හැනා ඇරන්ඩ්ට්ගේ දාර්ශනික අදහස් සහ දේශපාලන න්‍යායන් සමකාලීන සමාජය කියැවීමට සහ අවබෝධ කරගැනීමේදී ඉවත දැමිය නොහැකි දැනුමකි. තම ඇකඩමික දිවිය ආරම්භයේ පටන් අවසානය දක්වා ඉතා සුමට සහ පැහැදිලි න්‍යායාත්මක අදහස් සමූහයක් ලෝකයට සම්ප්‍රේෂණය කිරීමට්ට ඇය ගත් උත්සහය අගය කළ යුතු ය. The Origins of Totalitarianism කෘතියේ සිට අවසන් නොකළ The Life of the Mind කෘතීන් දක්වා ඇය විසින් රචිත කෘතින් සහ ලේඛන, ඇය ඉදිරිපත් කළ සංකල්ප අධ්‍යයනය කිරීම හා ඒ පිළිබඳව දැනුවත්භාවය මගින් දේශපාලන යන්ත්‍රණය තුළ සිදුවන වෙනස්වීම්, පරාවර්තනයන් සහ බල අරගලයන් පිළිබඳව විවේචනාත්මක දෘෂ්ටියකින් දැකීම හරහා පොදු මිනිසාට දේශපාලනික ක්‍රියාවලියේ පාර්ශවකරුවන් ලෙස නිවැරදි දේශපාලන තීරණයන්ට එළඹීමට ආරාධනා කරයි.

ආශ්‍රිත ග්‍රන්ථ

Arendt, H. (1958). The Origins of Totalitarianism. United Kingdom: Meridian Books.

Arendt, H. (2006). Eichmann in Jerusalem: A Report on the Banality of Evil. United Kingdom: Penguin Publishing Group.

Arendt, H. (2023). On Violence. United Kingdom: Penguin Random House.

The Philosophy Book: Big Ideas Simply Explained. (2024). United Kingdom: Dorling Kindersley Limited.