මානවශාස්ත්‍ර අධ්‍යාපනය වැදගත් වන්නේ ඇයි?
ඇමරිකානු දාර්ශනික, චිකාගෝ සරසවියේ මහාචාර්යවරියක වශයෙන් සේවය කරන මාර්තා සී. නස්බෝම් 2010 වර්ෂයේ තම ‘Not for Profit: Why Democracy Needs the Humanities’ නම් කෘතියේ ලෝකයේ සෑම රටකම පාහේ ප්‍රාථමික/ද්විතියික සහ විශ්වවිද්‍යාල අධ්‍යාපන යන ක්ෂේත්‍රයන්හි මානව ශාස්ත්‍ර හා කලා අධ්‍යාපනය කපා දමමින් පවතින බැව් සඳහන් කරයි. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අධ්‍යාපනයේ ඇති වැදගත්කමත්, ආචාරධර්මිකතාවන් පිළිබඳවත්, ඉහළ ගුණාත්මකබවකින් යුතු විද්‍යාර්ථීන් බිහි කිරීමත් යන කරුණු මුල් කරගනිමින් එම මහාචාර්යවරිය මානව ශාස්ත්‍ර හා කලා අධ්‍යාපනයේ ඇති අවශ්‍යතාව පිළිබඳව මෙම කෘතියේ ඉදිරිපත් කර සිටියි. එසේ නම්, මානවශාස්ත්‍ර අධ්‍යාපනය කුමකට ද?, කරුණු කිහිපයක් යටතේ ඉහත ගැටලුව සාකච්ඡාවට ගැනීම මේ ලිපියේ අරමුණයි.
බ්‍රිටැනිකා විශ්වකෝෂයේ සඳහන් වන ආකාරයට මානව ශාස්ත්‍ර යනු ,මනුෂ්‍ය වර්ගයා සහ ඔවුන්ගේ සංස්කෘතිය පිළිබඳව දැනුම ගොඩනගන විෂය ක්ෂේත්‍රයයි, නැතහොත් මානව වටිනාකම් අගය කිරීමත්, මනුෂ්‍ය ආත්මය සතුව ඇති පුද්ගලයා විදාරණය කිරීමේ හැකියාව පිළිබඳව විශ්ලේෂණාත්මක මෙන්ම විවේචනාත්මක දෘෂ්ටියක් තුළ අධ්‍යයනයට ලක්කරනු ලබන විෂය ක්ෂේත්‍රයයි. මෙම නිර්වචනය සැලකිල්ලට ගැනීමේදී ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයකි. අපගේ සාකච්ඡාව පදනම් වන්නේ ඒ කරුණු මතයි.
- මනුෂ්‍ය වර්ගයා සහ ඔවුන්ගේ සංස්කෘතිය පිළිබඳ දැනුම ගොඩනැගීම.
- මානව වටිනාකම් ඇගයීම.
- පුද්ගලයාට තමාව විදාරණය කිරීමට ඇති ශක්‍යතාව පිළිබඳව විශ්ලේෂණාත්මක හා විවේචනාත්මක අධ්‍යයනයන්හි නියැලීම.
මානව ශිෂ්ටාචාරය තුළ සංස්කෘතිය යන සංකල්පය බහුවිධ අර්ථ ජනනය කරයි. එයට හේතුව වන්නේ ස්වභාවධර්මය නොවන සියලු දෙයක්ම සංස්කෘතිය යටතට අයත් වීමයි. 2001 වර්ෂයේදී සංස්කෘතිය පිළිබඳව ඉදිරිපත් කෙරෙන යුනෙස්කෝ නිර්වචනය තුළ සංස්කෘතිය යටතට යම්කිසි ප්‍රජාවක හෝ සමාජ කණ්ඩායමක් තුළ පිළිගැනෙන අධ්‍යාත්මික, භෞතික, බුද්ධිමය, චිත්තවේගාත්මක කාරණා පමණක් නොව, එකී ප්‍රජාව හෝ සමාජ කණ්ඩායම තුළ ඇති කලාව සහ සාහිත්‍යය, ජීවන රටා, හර පද්ධතීන්, සම්ප්‍රදායන් සහ විශ්වාස යන්න ද අදාළ වන බව මෙහිදී සැලකිය යුතු ය. එසේ නම් සංස්කෘතිය යනු මානවයා ශිෂ්ටාචාරයක් ලෙස ගොඩනැගිම ඇරඹි පළමු අවස්ථාවේ පටන් පෘථිවියේ සීමා මායිම් ඉක්මවා සුපිරි මානවයෙක් පිළිබඳව විද්‍යාත්මක චින්තනය පුළුල් වීම දක්වා වූ සංස්කෘතිකමය විපර්යාසයකි. අදින් වසර 70,000කට පමණ පෙර ඇතිවන පළමු හෝමෝ සේපියන්වරයාගේ පටන් මානව සංස්කෘතිය නම් විචිත්‍ර ව්‍යුහයන් ඇරඹි බවත් මේ මානව සංස්කෘතින්ගේ සංවර්ධනය ‘ඉතිහාසය’ යනුවෙන් සැලකෙන බවත් හීබෲ සරසවියේ මහාචාර්යවරයෙකු වන යුවාල් නෝවා හරාරි තම ‘Sapiens: A Brief History of Humankind’ කෘතියේ දක්වා තිබේ. ඔහු දක්වන පරිදි අදින් වසර 70,000කට පෙර සිදු වූ බුද්ධිමය විප්ලවයත්, වසර 12,000කට පමණ පෙර සිදු වූ කෘෂිකාර්මික විප්ලවයත්, මීට වසර 500කට පමණ පෙර සිදුවූ විද්‍යාත්මක විප්ලවයත් මානව ශිෂ්ටාචාරයේ පැවැත්ම නිර්ණය කරන ප්‍රධානම සාධක බවට පත්වෙයි. එසේ නම්, ඉතිහාසය පුරාවට ආරම්භයේ පටන් මනුෂ්‍යයා ස්වකීය බුද්ධිය යොදාගෙන සිදුකළ සෑම කටයුත්තක් තුළම ඊට අනුරූපවූ සංස්කෘතික අනන්‍යතාවක් ගොඩනගාගෙන තිබේ. අනාගත දැනුම පදනම් වනුයේද ඒ මත ය. එනම්, ඉතිහාසය සෙවීම යනු මානව ශිෂ්ටාචාරයේ ප්‍රගමණය මැන බලන දර්ශකයක් හා සමාන ය. මේ නිසා අවශ්‍යයෙන්ම මානවශාස්ත්‍ර විෂයන් තුළ මනුෂ්‍යයා සහ ඔහුගේ සංස්කෘතික අනන්‍යතාවන් පිළිබඳ දැනුම ගොඩනැගීම සිදු කරයි. එය අනාගත ලෝක අවශ්‍යතාවයන්ගේ පදනම් සහ කේන්ද්‍රීය මාපකයක් බවට පත්වේ.
ඔස්ට්‍රියානු ජාතික මනෝවෛද්‍යවරයෙකු වූ වික්ටර් ඊ. ෆ්‍රැන්කල් තම ‘Man’s Search for Meaning’ නම් කෘතියේදී ලොව පුරා මිලියන ගණනක් අලෙවිවන ඔහුගේ කෘතිය පිළිබඳව ෆ්‍රැන්කල්ගේ අදහස විමසන මාධ්‍යවේදියෙකුට ඔහු ලබාදුන් පිළිතුර සඳහන් කරයි. එනම්, “Whereupon I react by reporting that in the first place I do not at all see in the bestseller status of my book an achievement and accomplishment on my part but rather an expression of the misery of our time” යන්නයි. ඔහු පවසන්නේ දහස් ගණනක් මිනිසුන් ජීවිතයේ අර්ථය පිළිබඳව ලියූ කෘතියක් මිලදී ගැනීම කෙරෙහි යොමු වන්නේ නම් ජීවිතයේ නිස්සාර බව මේ මොහොතේ ඔවුන් හද පාරවන ගැටලුව බවට පත් ව ඇති බවයි. ජීවිතයේ අර්ථය පිළිබඳවත්, තමා සතු වටිනාකම් අගය කිරීමත්, මනුෂ්‍යත්වයේ අර්ථය වටහාදීමත් සිදු කරන විෂය ධාරාව බවට පත්වන්නේ මානවශාස්ත්‍ර විෂයන් ය. නිවැරදි අර්ථසම්පන්න බවක් තුළ කිසිදු පුද්ගලයෙකුට සියදිවි තොරකරගැනීමේ අවශ්‍යතාවක් ඇති නොවනු ඇත. මානව සම්බන්ධතා අතිශයින්ම අවංක, පූර්ණ සබඳතා බවට පත්වනු ඇත. එනිසා මානවශාස්ත්‍ර යනු මිනිස් ජීවිතයේ සාරය කැටිකොටගත් පුළුල් විෂය පථයකි.
මහාචාර්ය නස්බෝම් තම කෘතියේම සඳහන් කරන තවත් එක් කරුණක් වන්නේ පුද්ගලයෙකුට ලෝකය හා සම්බන්ධ වීමේදී ආඛ්‍යානමය පරිකල්පනයේ ඇති වැදගත්කමයි. එනම්, තවත් අයෙකුගේ ජීවිතය දෙස අනුවේදනීය සහ සහවේදනයෙන් යුතුව දැකීමේ හැකියාව ඇති කරගත යුතු බවයි. ඇය සඳහන් කරන පරිදි මෙම ක්‍රියාවලිය තුළ කේන්ද්‍රීය කාර්යයක් මානවශාස්ත්‍ර හා කලා විෂයන් වෙත පැවරිය යුතු ය. නිවැරදි රසාඥතාවකින් සංගීතය රසවිඳීම, ඉහළ ගුණාත්මකබවකින් යුතු ගීතයකට සවන් දීම, නාට්‍යයක් තුළ ඉදිරිපත් කරන මනෝමූල අර්ථ වටහා ගැනීම හෝ මේ මොහොතේ ඔස්කාර් ඇකඩමි සම්මාන සඳහා නිර්දේශිත චිත්‍රපටයක් විශ්ලේෂණාත්මකව දැකීමට වුව ද අවැසි පදනම් දැනුම මානවශාස්ත්‍ර හා කලා අධ්‍යාපනය තුළ අන්තර්ගත විය යුතු ය. සරලවම, මනුෂ්‍ය සාරය සෙවීම යනු මෙයයි.
මානව ශාස්ත්‍ර පුද්ගලයාව විශ්ලේෂණාත්මකව මෙන්ම විචාරාත්මකව දකින්නට අවශ්‍ය දැනුම සම්පාදනය කරයි. එනම් මනුෂ්‍යයා ආත්මීය තත්ත්වයන්ගෙන් තොරව වාස්ථවික අර්ථ ජීවිතයට සපයාගැනීම වැදගත් වෙයි. එසේ නම් මානවශාස්ත්‍ර තුළ යම්කිසි ප්‍රජාවකට අදාළව විශ්වීය දැනුමක් ගොඩනැගීමත්, ඒ දැනිම එකී ප්‍රජාවේම උන්නතිය උදෙසා යොදාගැනීමත් සිදු කෙරේ. දර්ශනය, භාෂා, සාහිත්‍ය, ඉතිහාසය, කලාව වැනි විවිධ විෂය ක්ෂේත්‍රයන් ගණනාවක් මානවශාස්ත්‍ර ලෙස ලෝකයේ හඳුනාගෙන තිබේ. මේ සියලුම ශාස්ත්‍රයන් තුළ සිදු කරන්නේ මනුෂ්‍යයා දෙස ඉහත කී පරිදි විශ්ලේෂණාත්මකව දැකීමට අවශ්‍ය දැනුම ඉදිරිපත් කිරීමයි.
ග්‍රීක දාර්ශනික සොක්‍රටීස් විසින් වරෙක ප්‍රකාශ කරන්නේ “The life which is unexamined is not worth living” යනුවෙනුයි. මෙහි අර්ථය වන්නේ, යමෙකුගේ ජීවිතය ප්‍රශ්න කිරීමට හෝ විවේචනාත්මකව දැකීමට නොහැකි නම් එය අවිද්‍යාව හෙවත් මුග්ධත්වය වන බවයි. ඔහු සඳහන් කරන්නේ සදාචාරය, එසේත් නැත්නම් හොඳ සහ නරක යන ආකාර දෙක පිළිබඳව පූර්ණ අවබෝධයකට එළඹීමට නම් ඒ සඳහා අදාළ පුද්ගලයා සතුව තමාවම ප්‍රශ්න කිරීමේ ශක්‍යාතාවත්, හේතුවාදී අර්ථ නිරූපනයේ සමත්කමත් තිබිය යුතු බවයි. සොක්‍රටීස් විශ්වාස කළ ආකාරයට දර්ශනයේ පළමු කාර්යය බවට පත්වන්නේ ‘අප කවුරුන්දැයි‘ හඳුනාගැනීමයි. පසුකාලීනව 17වන සියවසයේදී රෙනේ ඩෙකාර්ට්ස් වැනි දාර්ශනිකයින් තම ‘Discourse on Method’ (1637) ග්‍රන්ථයේ “Cogito, Ergo Sum” (I think, therefore I am) යනුවෙන් දක්වන්නේ ද මෙයයි. ඩෙකාර්ට්ස් දක්වන ආකාරයට ඕනෑම පුද්ගලයෙකු තම ජීවිතයේ එක් වතාවක හෝ තමා වටා ඇති සෑම දෙයක් පිළිබඳවම අවිශ්වාසයක්, කුකුසක් හෝ විතර්කයකින් දකියි. මේ ලෙස විවේචනාත්මක දෘෂ්ටියකින් තමා දෙස බැලීමට සමත් චින්තනයක් බිහිකිරීම ද මානවශාස්ත්‍ර විෂයන් යටතේ සිදු කෙරෙයි.
ඉහත සඳහන් කළ සියලු කාරණා එක්ව ගත් කල පැහැදිලි වන්නේ රාජ්‍යයකට අවශ්‍ය පූර්ණ මනුෂ්‍යයා, එසේත් නැත්නම් ප්‍රජාවක් තුළ නොනැසී පැවතීමට හැකියාවැති සමාජීයමය පෞරුෂයක් ගොඩනැගීම මානවශාස්ත්‍ර අධ්‍යාපනයෙන් සිදු කෙරෙන බවයි. මානවශාස්ත්‍ර අධ්‍යයනයේ යෙදෙන විද්‍යාර්ථියෙකු මේ මොහොතේ වුවද ලංකාව තුළ හෝ ලෝකයේ හෝ සිදුවන සමාජ, දේශපාලනික, හා ආර්ථිකමය විචල්‍යතාවන් පිළිබඳ මනා අවබෝධයකුත්, විචාරාත්මක චින්තනයකිනුත් යුක්ත වෙයි. මානවශාස්ත්‍ර යනු ලාභ උපයන විෂයන් නොවන බව සත්‍යයකි. නමුත් එම විෂයන්ගේ කාර්යභාරය ලාභයට එහා වඩාත් ගාම්භීර වූවකි. නැසීයන මනුෂ්‍ය වටිනාකම් හා විපිළිසරව, නිස්සාරව පීඩා විඳින මනුෂ්‍ය ආත්මයන් වෙත වඩාත් හරාත්මක මෙන්ම ගුණාත්මක මගපෙන්වීමක් ලබාදීමට මෙම විෂයන් සමත් වෙයි. රටක් තුළ මානවශාස්ත්‍ර අධ්‍යාපනයේ ඇති වැදගත්කම ද එයයි.
ආශ්‍රිත ග්‍රන්ථ
අමරකීර්ති, ලියනගේ. (2013), කලාව කුමකට ද?: ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මානවශාස්ත්‍ර අධ්‍යාපනයේ කාර්යභාරය, ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ්
කල්දේරා, මංජුල. (2019), සේපියන්ස්: මානව වර්ගයාගේ ඉතිහාසය සැකෙවින්, සුභාවී ප්‍රකාශන
Buckingham, William., Burnham, Douglas., et al. (2015), The Philosophy Book: Big Ideas Simply Explained, DK Publishers
Frankl, Victor E. (2008), Man’s Search For Meaning (6th ed.), Rider Publications
Picture: https://www.jamesgmartin.center/2020/07/the-future-of-the-humanities-is-not-an-adjunct-fueled-decline/