මනෝවිද්‍යාව (Psychology) විෂයක් ලෙස ලොවපුරා බහුතරයකගේ අවධානයට සහ උනන්දුවට හේතු වූ විෂයක් ලෙස සැලකිය හැකි ය. මෙම විෂය විද්‍යාත්මකව සංවර්ධනය වූ ඉතා ශක්තිමත් පදනමක් සහිත අධ්‍යයන ක්ෂේත්‍රයක් ලෙස දැක්වුවහොත් වඩාත් නිවැරදි ය. ඈත ග්‍රීක අවධියේ පුද්ගල ආත්මය (Soul) පිළිබඳව විවිධ අදහස් ඉදිරිපත් කළ දාර්ශනිකයන්ගේ පටන්, ලොව සුපතල මනෝවිද්‍යාඥයන්ගේ ටෙලිපති (Telepathy), පුනර්භවය (Reincarnation) හෝ මෝහනය (Hypnotism) වැනි සංකල්ප දක්වා වන දීර්ඝ ඉතිහාසයකට උරුමකම් සහිත මෙම විෂය පුද්ගල මනසේ සිට පුද්ගල චර්යා නිරීක්ෂණය කිරීම දක්වා වූ සංකීර්ණ ක්‍රියාවලීන් සහ නවීන දැනුමෙන් සුපෝෂිත එකකි. මෙම සටහනෙහි අරමුණ වන්නේ මනෝවිද්‍යාව යන විෂය නිර්වචනය කිරීමත්, එහි ස්වභාවය සහ විෂය ක්ෂේත්‍රය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඇතිකිරීමත් ය.
මනෝවිද්‍යාව නිර්වචනය කිරීම
මනෝවිද්‍යාව විෂය පිළිබඳව විවිධ විද්වතුන් විවිධ අදහස් ඉදිරිපත් කර තිබේ. දීර්ඝ ඉතිහාසයකින් යුතු වීම නිසාත්, මෙම විෂය සතු විද්‍යාත්මක පදනම හේතුවෙනුත් එම නිර්වචන එක් එක් සන්දර්භය මත වෙනස්කම්වලට ලක්ව මතභේදවලට ලක්ව වෙනස් ආකාරයේ අදහස් ගණනාවක් ලෙස මනෝවිද්‍යාවේ ඉතිහාසය පුරා සටහන්ව ඇත. එවැනි අදහස් කිහිපයක් ගෙන මනෝවිද්‍යාවේ සැබෑ අරුත කුමක් ද යන්න වටහාගැනීම වඩා වැදගත් ය.
විල්හෙල්ම් වුන්ඩ්ට් (1832-1920)
"Psychology has to investigate that which we call internal experience — our own sensations and feelings, our thoughts and volitions."
'Principles of Physiological Psychology' නමින් 1874 වර්ෂයේ ප්‍රකාශයට පත් කළ ඔහුගේ කෘතිය තුළ විල්හෙල්ම් වුන්ඩ්ට් මනෝවිද්‍යාව පිළිබඳව ඉදිරිපත් කරන්නේ ඉහත අදහසයි. ඔහු දක්වන ආකාරයට මනෝවිද්‍යාව විසින් සිදුකළ යුතු වන්නේ අප අභ්‍යන්තරයේ ඇති අත්දැකීම් විමර්ශනය කිරීමයි. මෙම අභ්‍යන්තරික අත්දැකීම් ලෙස ඔහු හඳුනාගන්නේ පුද්ගල සංවේදනා, හැඟීම්, සිතුවිලි සහ චේතනා වැනි දෑයි. ඒ අනුව මෙම නිර්වචනයෙන් පැහැදිලි වන ආකාරයට මනෝවිද්‍යාව යනු පුද්ගල සන්තානගත සමුච්ඡය, එනම් අභ්‍යන්තරිකව පුද්ගලයා අත්දකින යතාර්ථය අවබෝධ කරගැනීමට උපකාර කරගත හැකි මෙවලමක් බවයි.
විලියම් ජේම්ස් (1942-1910)
"Psychology is the science of mental life, both of its phenomena and of their conditions."
'The Principles of Psychology' නමින් 1890 වසරේදී ප්‍රකාශයට පත් කළ තම කෘතියේ දක්වන ආකාරයට මනෝවිද්‍යාව යනු මානසික ජීවිතය පිළිබඳ විද්‍යාව ලෙස විලියම් ජේම්ස් අවධාරණය කරයි. මානසික ජීවිතය ලෙස ඔහු දකින්නේ පුද්ගල මනසේ ප්‍රපංචමය පැතිකඩ (Phenomena) සහ ඊට පදනම්වන සියලුම කොන්දේසි (Conditions) යන අදහසයි. මෙය වඩාත් පැහැදිලි කරන්නේ නම් ප්‍රපංචමය පැතිකඩ යනු මනස සතුව පවතින නිරීක්ෂණය කිරීමේ හැකියාවයි. එනම් දැකීමේ හැකියාවයි. සංවේදනා, හැඟීම්, සිතුවිලි, දෘෂ්ටිවාද, ආශාවන් සහ චේතනාවන් මෙයින් අදහස් කෙරේ. මේවා මානසික ජීවිතයේ නිරන්තර සිදුවිම් ලෙස සැලකිය හැකි ය. අනෙක් අතට, කොන්දේසි යනුවෙන් දක්වන්නේ ඉහත සඳහන් මානසික ජීවිතයට අදාළ සිදුවීම් ඇතිකිරීම කෙරෙහි බලපාන හේතු සාධක වේ. එනම් ජීවවිද්‍යාත්මක සාධක, පාරිසරික සාධක, ශාරීරික සාධක, අතීත අත්දැකීම්, සමාජ බලපෑම වැනි ඕනෑම දෙයක් විය හැකි ය. මේ අනුව විලියම් ජේම්ස්ගේ නිර්වචනය තුළ මූලිකවම අදහස වන්නේ පුද්ගල මානසික ජීවිතය අධ්‍යයනය කිරීම ඉතා වැදගත් බවත්, මනෝවිද්‍යාවේ අරමුණ එම මානසික ජීවිතයට බලපාන සියලු හේතු සාධක හඳුනාගන නිවැරදිව මනස දැකීමයි.
ජෝන් බී. වොට්සන් (1878-1958)
"Psychology, as the behaviorist views it, is a purely objective, experimental branch of natural science which needs introspection as little as do the sciences of chemistry and physics."
'Psychological Review' නම් සඟරාවට ජෝන් බී. වොට්සන් විසින් 1913 වසරේදී 'Psychology as the Behaviorist Views it' නමින් ඉදිරිපත් කළ ලිපියෙහි මනෝවිද්‍යාව පිළිබඳව සඳහන් වන්නේ ඉහත ආකාරයටයි. මනෝවිද්‍යාව, චර්යාවාදීන් දක්වන ආකාරයට පූර්ණ වශයෙන්ම වාස්ථවික (Objective) සහ පර්යේෂණයට බඳුන් කළ හැකි (Experimental) ස්වභාවික විද්‍යාවන්ගේ එක් ශාඛාවකි. මේ නිසා ඔහු දක්වන්නේ අන්තරාවලෝකනය වැනි ක්‍රම සඳහා මනෝවිද්‍යාව තුළ ඇත්තේ ඉතා කුඩා ඉඩක් බවයි. මොහුගේ මෙම අදහසට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ එම අවධිය වනවිට ඉදිරිපත්ව තිබූ ප්‍රධාන මනෝවිද්‍යා ගුරුකුල දෙකක් වන මනෝවිශ්ලේෂණවාදය සහ ඔහු නියෝජනය කළ චර්යාවාදය අතර පැවති ගැටුමයි. මනෝවිශ්ලේෂණය තුළ අන්තරාවලෝකනය වැනි ක්‍රමවේද භාවිතා කළ අතර, චර්යාවාදීන් ප්‍රධානකොටම මනස පිළිබඳ අදහස් ප්‍රතික්ෂේප කර අතිශයින් වාස්ථවික සහ පුද්ගල චර්යාව පිළිබඳ ප්‍රවේශයක් ගත්තේ ය. නිර්වචනයක් වශයෙන් මෙම අදහසෙහි වැදගත්කම ගතහොත්, වොට්සන් සඳහන් කරන වාස්ථවිකබව සහ පර්යේෂණයට ලක් කළ හැකිවීම ඉතා වැදගත් සංකල්ප වෙයි. විද්‍යාවන්ගේ ස්වභාවය වන්නේ ඒවා පර්යේෂණයට ලක්කර සපථ කරගැනීමට ඇති හැකියාවයි. ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂතාවයි. විද්‍යාවේ වාස්ථවිකත්වය ගොඩනැගෙන්නේ එතැනදී ය. වොට්සන් දක්වන පරිදි එමනිසා මනෝවිද්‍යාව යනු වාස්ථවික සහ පර්යේෂ්ණාත්මක පදනමක් ඇති විද්‍යාවකි.
සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් (1856-1939)
"Psychology is a natural science — an endeavor to bring psychological phenomena within the scope of mathematically formulated laws."
'An Outline of Psychoanalysis' නමින් 1940 වර්ෂයේදී ප්‍රකාශයට පත්කළ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ කෘතියෙහි ඔහු මනෝවිද්‍යාව දක්වන්නේ ස්වභාවික විද්‍යාවක් ලෙසයි. එය විග්‍රහ කරමින් ඔහු ඉදිරිපත් කරන්නේ මනෝවිද්‍යාත්මක ප්‍රපංචයන්/ සංසිද්ධීන් ගණිතමය රාමුවක් යටතේ සකස් කළ විෂය පථයකට ගෙන ඒමට දරන උත්සහයක් ලෙසයි. මෙය කාරණා කිහිපයක් යටතේ පැහැදිලි කළ හැකි ය. පළමුව, මනෝවිද්‍යාව යනු දර්ශනයක් හෝ ආගමක් නොව, එය ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව වැනිම වූ විද්‍යාවක් ලෙස ෆ්‍රොයිඩ් හඳුන්වයි. මනෝවිද්‍යාවෙහි අරමුණ විය යුත්තේ ස්වභාවික විද්‍යාවන් ලෙසම ස්වභාවික ලෝකයේ නිරීක්ෂණාත්මක ප්‍රපංචයන් අධ්‍යයනය කිරීම බවයි. දෙවනුව, විලියම් ජේම්ස් දැක්වූ ආකාරයටම Psychological Phenomena යන්නෙන්, පුද්ගල හැඟීම්, සිතුවිලි, ආශාවන්, සිහින වැනි දෑ, එනම් මානසික අත්දැකීම්, විද්‍යාත්මක විග්‍රහයකට මනෝවිද්‍යාව තුළ ලක් කළ යුතු බවත් දක්වයි. තෙවනුව, Mathematically formulated laws යනුවෙන් ඔහු අදහස් කරන්නේ, භෞතික විද්‍යාව නමැති විෂය තුළ භෞතික වස්තූන්ගේ හැසිරීම අධ්‍යයනය කරන්නා සේම මනෝවිද්‍යාව නමැති විෂය තුළ මනසේ හැසිරීම පිළිබඳව අධ්‍යයනය කළ යුතු බවයි. මෙබඳු අදහසක් ඔහු විසින් ඉදිරිපත් කිරීමට පදනම් වූයේ එම අවධිය තුළ (එනම් 1800 අගභාගයේ සහ 1900 මුලභාගයේ) මනෝවිද්‍යාව විද්‍යාවක් ලෙස විද්‍යාත්මක පදනමක් තුළ පිහිටා පිළිගැනීමට ලක් නොවීමයි. එනම්, ලෝකයා එකල මනස දුටුවේ ගුප්ත, අධ්‍යාත්මික හෝ විද්‍යාත්මක නොවන සංකල්පයක් ලෙසයි. කෙසේවෙතත්, මෙම අදහස සරලව දක්වන්නේ නම්, ෆ්‍රොයිඩ්ගේ අදහස වූයේ මනස යනු ගුප්ත සංකල්පයක් නොව, එය තථ්‍ය, ගවේෂණාත්මක විෂයක් වන බවත්, මනෝවිද්‍යාවේ අරමුණ විය යුත්තේ අනෙක් සියලුම ස්වභාවික විද්‍යාවක් ලෙසම එය සොයා යාමත් ය යන්නයි.
කාර්ල් රොජර්ස් (1902-1987)
"Psychology is the science of human behavior and experience — concerned with why human beings think, feel, and act as they do."
1961 වසරේ ප්‍රකාශයට පත් කෙරුණු කාර්ල් රොජර්ස්ගේ 'On Becoming a Person' නම් කෘතියෙහි ඔහු ඉහත අදහස ඉදිරිපත් කර තිබේ. එම ප්‍රකාශයේ අර්ථය ගතහොත්, මනෝවිද්‍යාව යනු පුද්ගල චර්යාව සහ අත්දැකීම් පිළිබඳ විද්‍යාවක් ලෙස ඔහු දක්වයි. එහිදී, මනුෂ්‍යයන් සිතන්නේ ඇයි? මනුෂ්‍යයන්ට දැනෙන්නේ ඇයි? සහ මනුෂ්‍යයන් විවිධාකාරයෙන් හැසිරෙන්නේ ඇයි ද යන්න අධ්‍යයනය කළ යුතු බව ඔහු දක්වයි. රොජර්ස් මනෝවිද්‍යාව යනු මනුෂ්‍ය චර්යාව සහ අත්දැකීම් ලෙස විග්‍රහ කිරීම තුළ, චර්යාවාදී ප්‍රවේශයෙන් බැහැරට ගොස් පුද්ගල අභ්‍යන්තරික අත්දැකීම් බාහිර චර්යාවන් හා සමාන වැදගත්කමක් උසුලන බව දක්වයි. එමෙන්ම, චර්යාවාදීන්ගේ ප්‍රධාන අදහසක් වූ හැඟීම් අධ්‍යයනය කළ නොහැක යන අදහසට ප්‍රතිවිරුද්ධව පුද්ගල හැඟීම් මනුෂ්‍යයා අවබෝධ කරගැනීමේ කේන්ද්‍රය ලෙස ද විග්‍රහ කරයි. රොජර්ස් විශ්වාස කළ පරිදි, මනෝවිද්‍යාව පුද්ගලයාගේ ක්‍රියාකාරකම්/ චර්යාවන් විස්තර කරනවාට වඩා යමක් සිදු කළ යුතු ය. උදාහරණයක් ලෙස, පුද්ගලයෙක් ඉච්ඡාභංගත්වයට පත්වන්නේ ඇයි? පුද්ගලයෙක් තමාට ආදරය කිරීමට අපොහොසත් වන්නේ ඇයි ? වැනි ගැටලු මනෝවිද්‍යාව තුළ සාකච්ඡා කළ යුතු ය. රොජර්ස්ගේ අදහසින්, මනෝවිද්‍යාව යනු මානුෂවාදී ප්‍රවේශයකි. එනම්, මනෝවිද්‍යාව තුළ සමස්ථ පුද්ගලයාවම අධ්‍යයනය විය යුතු ය යන්න ඔහුගේ මතයයි.
මනෝවිද්‍යාවේ ස්වභාවය සහ විෂය ක්ෂේත්‍රය
මනෝවිද්‍යාවේ ස්වභාවය අධ්‍යයනය කිරීමේදී එය කුමන ආකාරයේ විෂය පථයක් ද, එතුළ අධ්‍යයනය කරන්නේ කුමක් ද?, එය අධ්‍යයනයෙහි යෙදෙන්නේ කුමන ආකාරයට ද ? සහ එය අනෙකුත් විද්‍යාවන් අතර හිමිකරගෙන ඇති ස්ථානය පිළිබඳව අවබෝධයක් ලබා තිබීම වැදගත් ය.
පළමුව, මනෝවිද්‍යාව ඉහත කී නිර්වචනයන් හා සැසඳීමේදී පැහැදිලිවම විද්‍යාවක් ලෙස අවබෝධ කරගත හැකි ය. එනම්, මනෝවිද්‍යාව තුළ ඉතාමත් ක්‍රමවත් නිරීක්ෂණාත්මක පදනමක් සහිත ය. මෙම නිරීක්ෂණයට බොහෝවිට බඳුන් වන්නේ මිනිසායි. එතනින් ඔබ්බට ගොස් සත්ත්ව ලෝකෞඅ පවා අධ්‍යයනයට මනෝවිද්‍යාවේ විවිධ ප්‍රභේද උත්සහ ගනියි. ඉහත කී විද්‍යාත්මක පදනම යටතේ මෙම විෂය සතුව ඇති ප්‍රධාන ලක්ෂණයක් වන්නේ, විද්‍යාත්මක උපකල්පන ඉදිරිපත් කිරීමත්, ඒවා පර්යේෂණයට ලක් කිරීමත් ය. එම පර්යේෂණ හරහා ආනුභූතික සාක්ෂි එකතු කරමින්, පාලිත පරීක්ෂණයන්හි යෙදෙමින් මිනිසාගේ මනස සහ චර්යාව අධ්‍යයනය කිරීම මෙම විෂය තුළ ප්‍රධානකොටම සිදු කෙරේ. එමෙන්ම, ස්වභාවික විද්‍යාවන්ගෙන් මෙම විෂය වෙන්වන අවස්ථාව වන්නේ, ස්වභාවික විද්‍යාවන් භෞතික ලෝකයේ පදාර්ථ, රසායනික සහ භෞතික සාධක අධ්‍යයනය කරන විට මනෝවිද්‍යාව ඊට වඩා සංකීර්ණ මෙන්ම පූර්ව කථනය කිරීමට අපහසු ප්‍රපංචයක් වන මිනිසා අවබෝධ කරගැනීමට උත්සහ දැරීමයි.
එමෙන්ම මනෝවිද්‍යාව විෂය තුළ ස්වභාවික විද්‍යා (Natural Sciences) මෙන්ම සමාජීය විද්‍යා (S0cial Sciences)ලක්ෂණ ද දැක ගත හැකි ය. ස්වභාවික විද්‍යා ජීවවිද්‍යාත්මක පදනමක් තුළ පිහිටා කටයුතු කරන විට, සමාජීය විද්‍යා සමාජීය සන්දර්භයක් තුළ පුද්ගල චර්යාව අධ්‍යයනයෙහි යෙදෙයි. මනෝවිද්‍යාව එම ආකාර දෙකෙහිම, සංයුක්තයකි. තවද, මනෝවිද්‍යාව විෂය තුළ න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගික පැතිකඩක් ද ඇත. මනුෂ්‍යයා එදිනෙදා ජීවිතය තුළ මුහුණ දෙන ගැටලුවලට ඒ ඒ සන්දර්භයන් මත පිහිටා පිළිතුරු සෙවීමට වෙනමම විෂයධාරාවන් ගණනාවක් යටතේ මනෝවිද්‍යා විෂය සංවර්ධනය වී ඇත. (ව්‍යවහාරික මනෝවිද්‍යාව - Applied Psychology)
මනෝවිද්‍යාව ආත්ම මූලික (Subjective) සහ වාස්ථවික (Objective) යන දෙයාකාරයෙන්ම සමන්විත ය. විටෙක වාස්ථවිකව පුද්ගල මොළය, ස්නායු පද්ධතිය, භෞතික ශරීරය වෙන් වෙන්ව අධ්‍යයනය කිරීමත්, පර්යේෂණ, දත්ත හරහා අධ්‍යයනය කරන අතර, තවත් විටෙක පුද්ගල ආත්ම මූලික අත්දැකීම් (එනම් පුද්ගල අත්දැකීම්, සිතුවිලි, දෘෂ්ටිවාද ආදී) අධ්‍යයනය කරයි.
මෙම විෂය තනිව සංවර්ධනය වූ විෂයක් නොවේ. මනෝවිද්‍යාවේ විෂය ක්ෂේත්‍රය සංවර්ධනය වන්නේ විවිධාකාර විෂය ක්ෂේත්‍ර රාශියක එක්වීමෙනි. උදාහරණ ලෙස ජීවවිද්‍යාවේ එන පුද්ගල ශරීරය, මොළය පිළිබඳ දැනුම, සමාජ විද්‍යාවේ එන විවිධ සමාජීය මට්ටම් සහ පුද්ගල කණ්ඩායම් පිළිබඳ දැනුම, දර්ශනයේ එන සවිඥානිකත්වය සහ එහි විවිධ ස්වරූප පිළිබඳ දැනුම, වෛද්‍ය විද්‍යාවේඑන ව්‍යාධි වේදය, මානසික රෝග පිළිබඳ දැනුම, අධ්‍යාපනයේ එන පුද්ගල ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය පිළිබඳ දැනුම, ආර්ථික විද්‍යාවේ එන පුද්ගල පාරිභෝගික චර්යාවන් පිළිබඳ දැනුම, යනාදී ඉතා පුළුල් ක්ෂේත්‍ර ගණනාවක් මත පිහිටා සංවර්ධනය වූ දැනුම් පද්ධතියක් ලෙස මනෝවිද්‍යාව දැක්විය හැකි ය.
පසු සටහන
මනෝවිද්‍යාව යනු ඉතාමත් සුවිශේෂී, එමෙන්ම විස්තෘත මානයන් ගණනාවක විස්තාපනය වූ විෂයකි. සරලව නිර්වචනය කරන්නේ නම්, මනෝවිද්‍යාව තුළ සිදු කරන්නේ පුද්ගල මනස, චර්යාව සහ මානසික ක්‍රියාවලීන් පිළිබඳව විද්‍යාත්මකව අධ්‍යයනය කිරීමයි. එහි විෂය පථය ගතහොත්, එක්තරා ආකාරයකට මෙම විෂය ස්වභාවික විද්‍යාවක් වන අතර එක්තරා ආකාරයකට සමාජීය විද්‍යාවකි. එමෙන්ම තනිව මනෝවිද්‍යාව ලෙස අධ්‍යයනය කළ හැකි විෂයකට වඩා විවිධ විෂය ක්ෂේත්‍රයන් ගණනාවකගේ පදනම් දැනුම එක් කර නිර්මාණය කළ විද්‍යාත්මක විෂයක් ලෙස මෙය හැඳින්විය හැකි ය. එහි ප්‍රභලතම අභියෝගය වන්නේ විද්‍යාත්මක මෙවලම් භාවිතා කරමින්, ලොව වඩාත්ම සංකීර්ණ ලෙස සැලකෙන මනුෂ්‍ය මනස අධ්‍යයනය කිරීමයි. එය පූර්ව නිගමනයන්ට වඩා අපූර්ව දැනුමක් හඹා යන සාකල්‍ය ප්‍රවේශයකි.
Member discussion