ප්ලේටෝ සහ ඔහුගේ ආකෘතිකමය ලෝකය පිළිබඳ විග්‍රහයක්

ග්‍රීක දාර්ශනික ප්ලේටෝ සම්බන්ධයෙන් ඔහු විසින් රචිත දැනටත් සුරක්ෂිතව පවතින රචනයන් හැරෙන්නට ඔහුගේ ජීවිතය සම්බන්ධව ලෝකයට නිරාවරණය වී ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකි. ඔහු උපදින්නේ ක්‍රිස්තු පූර්ව 427 දී පමණ උසස් ප්‍රභූ පවුලකයි. ඔහුට මුලින් තැබූ නම ‘ඇරිස්ටොක්ලස්’ වන අතර ‘ප්ලේටෝ’ නම් වූ විකට නාමය පටබැඳෙන්නේ ‘පුළුල්’ (broad) යන අරුත ඇතිවයි. දේශපාලනය තම මූලික අධ්‍යන ක්ෂේත්‍රය කරගත් ප්ලේටෝ සොක්‍රටීස්ගේ ශීෂ්‍යයෙක් බවට පත් විය. සොක්‍රටීස්ගේ මරණයෙන් පසුව ඇතැන්ස් නගරය පිළිබඳව දැඩි කලකිරීමට පත්වන ප්ලේටෝ නගරය අතහැර ගිය බව ඉතිහාසයේ සඳහන් වෙයි. ඔහු බොහෝසේ සංචාරයේ යෙදුනු අතර දකුණු ඉතාලියේත්, සිසිලියේත් කල්ගත කළේ ය. ඔහු නැවත ක්‍රිස්තු පූර්ව 385දී පමණ ඇතැන්ස් නගරයට පැමිණෙන අතර ලොව පළමුවරට ඇකැඩෙමි (Academy) නම් වූ පාසල ආරම්භ කරන ලදුව, ක්‍රිස්තු පූර්ව 347දී ඔහුගේ මරණය සිදුවන තෙක් එහි ප්‍රධානියා වශයෙන් කටයුතු කළේ ය. ප්ලේටෝ තම අදහස් ඉදිරිපත් කළේ ඥානවිභාගීය (Epistemological) පදනමක් මත පිහිටායි. ඔහුගේ ඇපොලොජි (Apology), රිපබ්ලික් (Republic), සිම්පෝසියම් (Symposium), පාර්මනෛඩීස් (Parmenides), පයිතගරස් (Protagoras) වැනි රචනාවන් සහ සංවාද ලොව වඩාත් ප්‍රසිද්ධියටත් විවිධ අධ්‍යනයටන්ටත් පාදක වී තිබේ.

ක්‍රිස්තු පූර්ව 399 වනවිට, ප්ලේටෝගේ ගුරුවරයාව සිටි සොක්‍රටීස් මරණයට නියම කරන ලදි. සොක්‍රටීස් විසින් කිසිවක් රචනාකර නොතිබූ නිසා තම ගුරුවරයාගෙන් තමා උගත් දේ ප්ලේටෝ විසින් රචනා කරන්නට උත්සහ ගත්තේ ය. ඇපොලොජි නම් සංවාදයේදී සොක්‍රටීස් එහි චරිතයක් වශයෙන් යොදාගෙන ප්ලේටෝ දෙබස් ස්වරූපයෙන් අදහස් ඉදිරිපත් කරයි. සමහර අවස්ථාවලදී සොක්‍රටීස්ගේ සහ ප්ලේටෝගේ අදහස් වෙන් වෙන්ව හඳුනාගැනීම ද අපහසු කටයුත්තකි. මුල්කාලීනව ප්ලේටෝගේ අරමුණ බවට පත් වූයේ තම ගුරුවරයා මෙන් ම සදාචාරමය වටිනාකම් (Moral Values), එනම් ‘යුක්තිය’ (Justice) සහ ‘සද්භාවය’ (Virtue) වැනි සංකල්ප පිළිබඳව විග්‍රහ කිරීමයි. එමෙන්ම ‘හරි’ (Right) සහ ‘වැරදි’ (Wrong) යනු සාපේක්ෂ සංකල්ප යැයි පයිතගරස් විසින් දැක්වූ අදහස් ප්‍රතික්ෂේප කර දැමීමට ද ප්ලේටෝ උත්සහ ගත්තේ ය. ඔහුගේ රිපබ්ලික් ග්‍රන්ථයේ සඳහන් කරන ආකාරයට ඔහුගේ අදහස් පදනම් වූයේ කල්පිත නගරයක් වටා වූ අතර ඒ හරහා ඔහු සදාචාරයේ විවිධ මානයන් දකින්නට උත්සහ ගත්තේ ය.

සදාචාරය පිළිබඳ අධ්‍යනයන්ට අමතරව ඔහු මෙම සදාචාර දර්ශනයෙන් පිට මාතෘකා පිළිබඳව අදහස් දැක්වීය. මුල්කාලීන ග්‍රීක දාර්ශනිකයන් පරිද්දෙන් ඔහු ද විශ්වයේ ස්වභාවය සහ පැවැත්ම පිළිබඳව ප්‍රශ්න කළේ ය. ප්ලේටෝගේ දර්ශනය ගොඩනැගීමේදී හෙරක්ලීටස්, පයිතගරස්, පාර්මනෛඩීස්, ඇනැක්සගෝරස්, සොක්‍රටීස් වැනි දාර්ශනිකයන් තදින්ම බලපෑ බව විචාරක මතයයි. නමුත් ප්ලේටෝ ග්‍රීක විතණ්ඩවාදීන් මෙන් මුදල් ඉපයීම මූලික පරමාර්ථය කරගෙන දැනුම ලබා නොදුන්නේ ය. සොක්‍රටීස් මෙන් පොදු ස්ථානවල සාමාන්‍ය ජනතාව සමග සාකච්ඡා කිරීම සිදු නොකළේ ය. ඔහුට අවශ්‍ය වූයේ, ඔහුගේ ඇකඩමිය හරහා මනුෂ්‍යයාට සේවය කිරීමත්, මනුෂ්‍ය ආත්මය ආධ්‍යාත්මික ජීවිතයක් වෙත යොමු කිරීමත් මගින් යහපත් පාලකයන් ඇතිකර ග්‍රීසිය සැබෑ වශයෙන්ම ප්‍රඥාවන්තයින්ගේ රාජ්‍යයක් බවට පත් කිරීමයි. ඔහු විශ්වාස කළ දෙය නම්, පොදු ජනතාවගේ මුලාවන් සහ අඥානකම් ඉවත් කිරීමට නම්, පාලකයන් දූරදර්ශී සහ ප්‍රඥාවන්ත විය යුතු ය. ඔහු වරක් පැවසූ පරිදි “එක්කෝ පාලකයා දාර්ශනිකයෙකු විය යුතු ය, නැත්නම් දාර්ශනිකයා පාලකයෙකු විය යුතු ය”. රටක් සෞභාග්‍යය කරා යන ගමනේ ප්‍රඥාවන්තයාගේ කාර්යය අතිමහත් බව ඔහු තදින්ම විශ්වාස කළ බව මෙයින් ගම්‍යමාන වෙයි.

කල්පිතමය ආකෘතිය සෙවීම

රිපබ්ලික් ග්‍රන්ථයේ ප්ලේටෝ විසින් සොක්‍රටීස් ‘සදාචාරය’ සහ ‘සද්භාවය’ පිළිබඳ දැක්වූ අදහස් විස්තර කරයි. මෙහි අරමුණ වූයේ එවැනි සංකල්පයන් පිළිබඳව වඩා නිවැරදි නිර්වචනයන් ඉදිරිපත් කිරීමයි. සොක්‍රටීස් ඉදිරිපත් කළේ ‘සද්භාවය ඥානය වේ’ (Virtue is Knowledge) යන අදහසකි. අනෙක් අතට යුක්තියට අනුකූලව හැසිරෙන්නට නම්, යුක්තිය යනු කුමක්ද යන්න පිළිබඳව අවබෝධයක් පුද්ගලයා සතුවිය යුතු ය. ප්ලේටෝ දක්වන ආකාරයට, යම් සංකල්පයක් පිළිබඳව අපගේ අදහස් දැක්වීමට ප්‍රථම එය මගින් අදහස් කරන්නේ කුමක් ද යන්නත්, කුමක් අරභයා එය නිර්මිත ද යන්නත් අධ්‍යනය කිරීම වඩා වැදගත් ය. ප්ලේටෝ නගන තවත් ප්‍රශ්නයක් වන්නේ ‘නිවැරදි’ හෝ ‘වැරදි’ යන්න අපි කෙසේ හඳුනාගත යුතු ද යන්නයි. මේ අනුව ප්ලේටෝ ආචාරධර්ම මූලික කරගත් අධ්‍යනයන් වෙත ද තම අවධානය යොමු කර තිබේ. එනම් සෑම සමාජයකටම ‘නිවැරදි’ වන්නේ කුමක් දැයි සෙවීම වඩා වැදගත් ය. මේ අනුව යමින් ඔහු, ලෝකයේ පවතින සදාචාරමය සංකල්ප හෝ වේවා, භෞතික වස්තූන් හෝ වේවා සියල්ලටම අදාළ වන පරිදි කල්පිතමය ආකෘතියක් (Ideal Form) පවතින බව පවසයි.

උදාහරණයක් වශයෙන් ‘පුටුව’ යන වස්තුව ගෙන දැක්වුවහොත්, ඕනෑම සාමාන්‍ය පුද්ගලයෙකුට ඕනෑම පුටුවක් හඳුනාගත හැකි ය. එනම් විවිධාකාර ප්‍රමාණවලින් හෝ හැඩවලින් නිර්මිත පුටුවක් වුවත් එය හඳුනා ගැනීමට එම පුද්ගලයාට හැකියාව තිබේ. වඩාත් විස්තර කරන්නේ නම්, පුටුවක ඇති එම වස්තුවටම ආවේණික පොදු ලක්ෂණ ගණනාවක් පිළිබඳව අදාළ පුද්ගලයාට අවබෝධයක් තිබේ. එනිසා පුටුව යන වචනය කියූ පමණින් එය කුමක් ද යන්න ඕනෑම අයෙකුට වටහාගත හැකි ය. ප්ලේටෝ මෙය විග්‍රහ කරන්නේ පුටුව යන්න පිළිබඳව අපගේ මනසේ පොදු එකඟතාවකින් යුතු කල්පිතයක් පවතින බව දක්වමිනි . ඒ මත එල්බ ගනිමින් ප්ලේටෝ තවදුරටත් පැහැදිලි කරන්නේ සත්‍ය දැනුම නිරතුරුවම අපගේ ඉන්ද්‍රියන් මත පවතින දෙයකට වඩා තර්කය/හේතු දැක්වීම (Reasoning) මත පවතින බවයි. මෙම හේතු දැක්වීම නැතහොත් තර්කනය මත පදනම්ව ප්ලේටෝ කල්පිත ලෝකයක් නැතහොත් ආකෘතිමය ලෝකයක් පවතින බව පවසයි. නියමාකාර පුටුවක් පිළිබඳව ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය මත පිහිටා අදහසක් දැක්විය නොහැක. ප්ලේටෝ තවදුරටත් ඉදිරියට යමින් මෙම කල්පිත රාජ්‍යය (Realm of Ideas) යථාර්ථය (Reality) වශයෙන් හඳුන්වයි. එනම් අප අවට පවත්නා ලෝකය මෙම කල්පිත රාජ්‍යය තුළ නිර්මිත බවයි.

ප්ලේටෝගේ ගුහාව පිළිබඳ විග්‍රහය

ඉහත දැක්වූ ඔහුගේ මතය සනාථ කිරීමට ප්ලේටෝ ඔහුගේ ගුහාව පිළිබඳ රූපක කතාන්දරය (The Allegory of Cave) ඉදිරිපත් කරයි. උපතේ පටන් ගුහාවක සිරකළ මිනිසුන් කණ්ඩායමක් පිළිබඳව සිතන්න. මොවුන්, ගුහාවේ බිත්ති පෙනෙන පරිදි ගැටගසා දමා තිබේ. මේ සිරකරුවන් පිටුපස ගින්නක් තිබෙන අතර සිරකරුවන් මුහුණලා ඇති බිත්ති මත එම ගින්න නිසා සෙවණැලි මැවේ. මේ සිරකරුවනුත් ගින්නත් අතර තාප්පයක් තිබේ. මේ තාප්පය මත කලින් කලට මිනිසුන් ගමන් කරන අතර විවිධාකාර වස්තූන් ඔවුන් අල්ලාගෙන සිටියි. සිරකරුවන් දකින සෙවණැලි මේ තාප්පය මත සිටින මිනිසුන්ගේත් ඔවුන් අතැති විවිධ වස්තූන්ගේත් සෙවණැලි ය. එනම් සැබෑ වස්තූන් පිළිබඳ අවබෝධයක් ඔවුනට නොමැත. මෙම සිරකරුවන්ගෙන් එක් අයෙක් තමා බැඳදමා ඇති රැහැන් ගලවා බාහිර ලෝකයට පැමිණීමට සමත්වූවා යැයි සිතන්න. නමුත් ජීවිත කාලයක් පුරාවට සිදු වූ මුලාව නිසා ඔහු අනිවාර්යයෙන්ම වික්ෂිප්ත වනු නිසැක ය. එමෙන්ම ඔහු නැවත පෙර සිටි ගුහාවටම පැමිණීමට ද ඉඩ තිබේ.

ප්ලේටෝගේ ආකෘති පිළිබඳ න්‍යායට (Theory of Forms) අනුව අපගේ ඉන්ද්‍රියන් ප්‍රත්‍යක්ෂ කරගන්නා භෞතික ලෝකයේ සියලු දේ ඉහත කී ගුහා බිත්තියේ සෙවණැලිවලට සමාන ය. එනම්, ඒවා හුදෙක්ම යථාර්ථයේ සෙවණැලි ය (Shadows of Reality). නියමාකාර දැනුමක් ළඟාකරගත හැකිවන්නේ මෙම ආකෘතීන් පිළිබඳ තාර්කික සහ හේතු සහගත අධ්‍යනයක් මගින් පමණකි. වෙනස් වීම (Changing) සම්බන්ධව ප්ලේටෝගේ අදහස මෙම ආකෘතික ලෝකය සහ යථාර්ථ ලෝකය හරහා අවබෝධ කරගත හැකි ය. එනම් යථාර්ථ ලෝකය වෙනස්වීමට බඳුන්වන එකක් වන අතර ඔහුගේ ආකෘති ලෝකය වෙනස්වීම්වලට බඳුන් නොවන සදාකාලික එකකි. ප්ලේටෝගේ මෙම අදහස් භෞතික ලෝකයේ වස්තූන්ට පමණක් නොව යුක්තිය වැනි සංකල්ප විස්තර කිරීමේදී ද යොදාගත හැකි ය. ඔහුට අනුව සැබෑ යුක්තියට ද ආකෘතියක් තිබේ. යථාර්ථ ලෝකය තුළ පවත්නා යුක්තිය ඉහත කී සැබෑ යුක්තියේ වෙනස් වූ ප්‍රභේදයක් හෝ වෙනස් මාදිලියක් විය හැකි ය. මෙය, යහපත වැනි සංකල්ප පැහැදිලි කිරීමේදී ද ප්ලේටෝ යොදාගනී. යහපත යනු සෑම දර්ශනයකටම පොදු අරමුණ විය යුතු බව ඔහු විශ්වාස කළේ ය.

ප්ලේටෝ දක්වන පරිදි, මනුෂ්‍යයා කොටස් දෙකකට බෙදිය හැකි ය. එනම් භෞතික ශරීරය (Physical Body) සහ ආත්මය (Soul) වශයෙනි. භෞතික ශරීරය මිනිසා වටා ඇති භෞතික ලෝකය ඉන්ද්‍රියන් මගින් ග්‍රහණය කරගන්නා අතර, ආත්මය ඉහත කී කල්පිත ලෝකය (Realm of Ideas) හා සම්බන්ධව කටයුතු කරයි. මනුෂ්‍යයාගේ ආත්මය උපතට පෙර මෙම කල්පිත ලෝකයේ පවතින අතර, මරණින් මතු ද ආත්මය කල්පිත ලෝකය වෙත යයි. මෙහිදී යථා ලෝකය තුළ අප ඉන්ද්‍රිය මගින් ප්‍රත්‍යක්ෂ කරගන්නා වෙනස්කම් එක්තරා ආකාරයකට එම කල්පිත ආකෘතීන් නැවත මතක් කරගැනීමක් වැනි ය. ප්ලේටෝගේ අදහසට අනුව දාර්ශනිකයෙකුගේ අරමුණ විය යුත්තේ මෙම කල්පිත ලෝකය ගවේෂණය කිරීමයි. එහිදී මූලික උපාංගය විය යුත්තේ තර්කය, බුද්ධිය හෝ හේතු විචාරය කිරීමයි. මේ නිසායි ප්ලේටෝ රිපබ්ලික්හි දක්වන පරිදි දාර්ශනිකයා පාලකයා විය යුත්තේ. මෙයට හේතුව දාර්ශනිකයාට සෑම විටම ලෝකයේ නිවැරදි ස්වභාවයත්, සදාචාර වටිනාකම්වල සැබෑ තත්ත්වයත් අවබෝධ කරගැනීමට ඇති හැකියාවයි.

ග්‍රීක දර්ශනය තුළ දර්ශන පද්ධතියක් ගොඩනැගූ දාර්ශනිකයෙක් වශයෙන් ප්ලේටෝ පිළිගැනේ. එමෙන්ම ඔහුගේ තර්කය සහ හේතු දැක්වීම පිළිබඳ අදහස් 17 වන සියවසයේ බුද්ධිවාදී දාර්ශනිකයන්ට (Rationalism) පදනම් සකස්කිරීමට ද සමත් විය. එමෙන්ම, 20 වන සියවසයේ ලොව පතල බ්‍රිතාන්‍ය තර්කශාස්ත්‍රඥයෙකු වූ ඇල්ෆ්‍රඩ් නෝර්ත් වයිට්හෙඩ් (Alfred North Whitehead) දක්වන පරිදි, බටහිර දර්ශනයේ පදනම වැටෙනේ ද ප්ලේටෝගේ දර්ශනය මගිනි.