පසු ධනවාදී ලෝකය තුළ මාධ්‍ය සදාචාරය ගැන පොදුවේ අදහසක් දැක්වීමට පළමුව පසු ධනවාදය යනු කුමක් ද යන්නත් මාධ්‍ය සදාචාරය යනු කුමක් ද යන්නත් පහදාගත යුතු ය. මෙම පද දෙකෙහි අර්ථය හොඳින් වටහාගතහොත් මෙම මාතෘකාවේ වැදගත්කම කුමන අන්ත කරා විහිදෙනු ඇති ද යන්න හොඳින්ම වැටහෙනු නොඅනුමාන ය. එසේ නම් පසු ධනවාදය යනු කුමක් ද? මාධ්‍ය සදාචාරය යනු කුමක් ද? මෙම ප්‍රධාන මාතෘකාවෙන් ඛණ්ඩනය වී නිදහස් වෙළඳ අභිලාශ මධ්‍යයේ අර්ථවත් බව, නො එසේ නම්, මනුෂ්‍ය සාරය රැකගැනීමෙහිලා මේ මොහොතේ මාධ්‍ය මුහුණ දී ඇති අභියෝග මොනවාදැයි පැහැදිලි කරදීම මෙම ලිපියේ අරමුණයි.
ඉහත සඳහන් කළ කරුණු යටතේ මෙම මාතෘකාව පිළිබඳව අදහස් දැක්වීමට නම් පළමුව පසු ධනවාදය, එසේත් නැත්නම් Late Capitalism යන වචනයේ දුරවබෝධතාවන් මගහැර ගත යුතු ය. ඒ සඳහා ධනවාදය යන්න නිවැරදිව හඳුනා ගැනීම වැදගත් ය. ධනවාදය යන්න ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ නිර්වචනය වන්නේ 'A system in which a country’s trade and industry are controlled by private owners' ලෙසයි.එමෙන්ම ධනවාදය යන්න මේරියම් වෙබ්ස්ටර් ශබ්දකෝෂයේ නිර්වචනය වන්නේ 'economic system of private ownership of capital' ලෙසයි. සරලව ගතහොත් එම නිර්වචනයන්ගේ අදහස වන්නේ වෙළධපොළ තත්වයන් තුළ මිල යාන්ත්‍රණයේ උපයෝගීතාවයෙන් ආර්ථිකය මෙහෙයවීමේ ක්‍රියාවලියකි. තවදුරටත් ගැඹුරට විමසන්නේ නම් ධනවාදී වීම තුළ අවධානය යොමු වන්නේ පුද්ගල අයිතිවාසිකම්, භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, ශ්‍රමය, භූමිය, ප්‍රාග්ධනය වැනි කරුණු වෙතය්ව්. මධ්‍යකාලීන ලෝකයේ වැඩවසම් තත්වයන්ගෙන් අනතුරුව කාර්මීකරණයත් සමගින් නවමු මාවතකට පැමිණි මෙම සංකල්පය, 16, 18 සියවස්වල ඇරඹි වාණිජවාදී තත්වයන් යටතේ පෝෂණය වී මේ වනවිට ලිබරල්වාදය වැනි සාකච්ඡා තෙක් පැතිරී ගොස් තිබේ.
කෙසේ නමුත් මෙම ධනවාදී අර්ථක්‍රමය තුළ නිෂ්පාදනයන්ගේ ස්වභාවය එක් එක් මහාද්වීපයන්ට, රටකින් රටකට වෙනස් ස්වභාවයක් ගෙන තිබේ. මෙම ලිපියේ අරමුණ බවට පත්වන්නේ පසු ධනවාදය යනු කුමක් ද යන්න සාකච්ඡා කිරීමයි. සංකල්පීයමය වශයෙන් ධනවාදයේම තවත් දිගුවක් වන පසු ධනවාදය තුළ සමාජ යාන්ත්‍රණය කුමන පදනමක් ගන්නේ දැයි අප විමසා බලමු.
පසු ධනවාදය යන වචනය පලමුට් වරට මුද්‍රිත මාධ්‍යයක යොදාගන්නේ වර්නර් සොම්බාර්ට් (Werner Sombart) නම් ජර්මානු ජාතික ආර්ථික විද්‍යාඥයායි. 1940 දෙවන ලෝක යුද්ධයෙන් පසු සිදුවු ආර්ථික විස්තාරණය ධනවාදයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන අතර, 1975 දී අර්නස්ට් මැන්ඩෙල්ගේ (Ernest Mandel) Late Capitalism නමින් පළ වූ කෘතියෙන් පසුව පසු ධනවාදය යන වචනය වඩාත් ඉංග්‍රීසි කතා කරන ලෝකය තුළ ප්‍රචලිත වන්නට විය. එමෙන්ම 2010 වසරෙන් පසුව, 21වන සියවසයේදී මෙම වචනය ඇමරිකාව, කැනඩාව වැනි රටවල ප්‍රචලිත වන්නේ නූතන ව්‍යාපාරික තත්වයන් තුළ නිර්මාණය වන විකාර රූපී විසංවාදී තත්වයන් පැටලිලි සහගත අර්බුදකාරී අවස්ථාවන් එමෙන්ම අසමාණතාව, අසාධාරණය සහ සූරාකෑම වැනි තත්වයන් විග්‍රහ කිරීමේ ඌණ පූරණයක් ලෙසයි. එනම් පසු ධනවාදය යන්න යොදා ගැනෙන්නේ ධනවාදයේ පසු කාලීනව ඇති වූ, ෆැසිස්ට්වාදී එනම් අධික බලපෑම් සහිත පාලනයෙන් යුතු තත්වයන් කෙරෙහි එල්ලවන විවේචනයක් ලෙසයි. ඒ කරුණ තවදුරටත් පසුව පැහැදිලි කරගත යුතු ය.
එසේ නම් පසු ධනවාදය මාධ්‍ය සදාචාරයට සම්බන්ධ කරුණක් බවට පත්වන්නේ කෙසේ ද? එය විග්‍රහ කරන්නේ කෙසේද යන්න අප මීළඟට සලකා බැලිය යුතු ය. 1991 වසරේ ෆ්‍රෙඩ්රික් ජේම්සන් (Fredric Jameson) විසින් රචිත Postmodernism; On the Cultural Logic of Late Capitalism යන කෘතියේදී ඔහු ධනවාදය තුළ ඇතිවන සංස්කෘතිකමය ආස්ථානයන් පැහැදිලි කරයි. ජේම්සන් දක්වන ආකාරයට පසු ධනවාදය යන්න විග්‍රහ කල යුත්තේ ගෝලීයකරණය වූ පශ්චාත් කාර්මීකරණය ලෙස හඳුනාගත් ආර්ථික සන්දර්භයක් තුළ සිටයි. එනම්, ධනවාදය ස්වභාව රූපීවම භෞතිකවාදී භාණ්ඩ පමණක් අදාළ කරගෙන සිදු කරන පැහැදිලි කිරීමක් පමණක් නොවේ. එය, කලාව ජීවන තත්වය බඳු භෞතික තත්වයන්ගෙන් බැහැරට පවතින ප්‍රපංචයන් පවා මෙවලම් සහ පාරිභෝගික පදනමක් ඇති දේ බවට පත් කරයි.
මෙම අවධිය තුළ සමාජීයමය වශයෙන් සිදුවන ඕනෑම වෙනස්කමක් ඉතා ඉක්මනින් නිෂ්පාදනයක් බවට පත්වීමේ ප්‍රවනතාවක් පවතී. උදාහරණයක් ලෙස ඔබට අවශ්‍ය ආදරය ද? එය වෙළඳ භාණ්ඩයක් ලෙස විකිණීමට පසු ධනවාදය තුළ හැකියාව තිබේ. මීට අමතරව ජොනතන් ක්‍රේරි තම ලේට් කැපිටලිසම් ඇන්ඩ් ද එන්ඩ් ඔෆ් ස්ලීප් කෘතියේ දක්වන ආකාරයට පසු ධනවාදී අවධිය තුළ නව තාක්ෂණික ප්‍රයෝග, සහ සමාජ මාධ්‍ය වැනි මෙවලම් මූලික අවශ්‍යතා ඉක්මවා ක්‍රියා කරයි. උදාහරණයක් ලෙස ඕනෑම කෙනෙකුට අහිමි වන නින්ද, තාක්ෂනය සමග ගෙවා දැමීමට අදාළ පුද්ගලයා තීරණය කරයි, එනිසා පුද්ගලයෙක් නෛසර්ගිකවම හිමි කරගෙන තිබෙන තමා විසින්ම තමා දෙස බැලීමේ අන්තරාවලෝකන හැකියාව සහ ප්‍රකල්පනය, ඒකාග්‍රතාව පවත්වා ගැනීම වැනි දේ නිශේදනය වී යයි.
මෙය තවදුරටත් විග්‍රහ කරන්නේ නම් The Subtle Art of Not Giving a Fuck නම් කෘතිය රචනා කළ මාර්ක් මැන්සන් (Mark Manson) මෑතකදී තම යූටියුබ් චැනලයේ තම කෘතියේ නොවැදගත්කම පැහැදිලි කර සිටියි. එනම් ස්ව-උපකාරක පොත්, අනෙක් අතට ධනාත්මක චින්තනය වැනි පොත්, යම්කිසි ආකාරයකට පුද්ගලයෙකුට අභිප්‍රේරණයක් ලබාදීමට තරම් හැකියාවක් තිබුණත් එය පුද්ගලයෙකුගේ ජීවිතය සත්‍ය ලෙසම සාර්ථක කර දෙන්නේ ද? වඩා පහසු පොත කියැවීම ද? නැතහොත් එය ජීවිතය ජයගැනීම ක්‍රියාවට නැංවීම ද? ඇත්තෙන්ම එම කෘතිවලින් කියනා ලෙසම, මගපෙන්වීමක් සිදුවූයේ නම් එය කියවන සෑම දෙනාම සාර්ථකත්වයට පත්ව සිටිය යුතු නොවේ ද? පසු ධනවාදය තුල සිදුවන්නේ මෙයයි.
පසු ධනවාදයේ ස්වරූපය පැහැදිලි කරගැනීමට තවත් නිදසුනක් නම් චාලක රනසූරියගේ නාට්‍ය නිර්මාණයක් වන මාරක ළිඳේ සවාරියක් ය. ජිනදාස චීන වරාය අසල ගොඩනැගිල්ලක් මතට වී මාරාන්තික උපවාසයකයි. ඒ අතරේ නාමල් පූජා කරන්නට යන මාතර හාමිනේ ප්‍රමුඛ නන්දා, අනුලා, බලදාස ඇතුළු පිරිස රත්නත්‍රයේ පිහිට පතමින් මග සිරි නරඹමින් සාමීචියේ යෙදෙති. අතරවාරයේ එක් මොහොතක, වයර්ලස් රේඩියෝවේ නාලිකාවක අහම්බයෙන් එක්තරා පුද්ගලයෙකු චීන වරාය අසල ගොඩනැගිල්ලක මාරාන්තික උපවාසයක යෙදෙන බව කියැවෙයි. නඩය රුහුණු කුමාරි කෝච්චියෙන් කොළඹ බලා පිටත් වෙති. මීළඟ දර්ශනය ගෙතෙන්නේ අදාළ ගොඩනැගිල්ල අසල සිටින මාධ්‍ය කණ්ඩායමක් වටායි.
නාට්‍ය නැරඹු ඕනෑම අයෙකු පළමුව වටහා ගන්නා දෙයක් වන්නේ මෙතරම් හොඳින් තුන්වන ලෝකයේ රටක යථාර්තය නාට්‍යමය ප්‍රකාශයක් ලෙස ගෙන එන්නේ කෙසේ ද යන්නයි. ගම්පෙරළියේ අවස්තා අනුරූපව ගලපමින්, නන්දා සහ ජිනදාසත්, නන්දා සහ පියලුත් අතර ඇති සංයෝජනය සහ ගැටුම උද්වේගකරව කිසිදු ආයාසයකින් තොරව ඉදිරිපත් කිරීම ප්‍රශංසනීයයි. නාට්‍යයක් ලෙස දිගහැරෙන මෙම දේශපාලනික ප්‍රකාශනය මනුෂ්‍ය විඥානය මේ මොහොතේ කේන්ද්‍රගතව ඇති සීමිතත්වය, බහුවිධ ප්‍රකාශනයක් ලෙස චරිත ගණනාවක උච්ච කොට දක්වයි.
දෙබස් සංඝටනය තුළ ඔබේ මනස විහිදා පැතිරී යන අතුල් පහරවල් එමට ය. සිත් සොම්නස් කරවන බරසාර කල්පනා එහි නැත. නාමල් පිදීමේ සිට, බලදාස තුළ හොල්මන් කරන මකරා දක්වාම ලංකාවේ දේශපාලනික ව්‍යාපාරයේ අතු රිකිලි ය. ප්‍රේක්ෂක විඥානය පාරවමින් පොදු මිනිසාගේ ආත්මීය විලාපය නාට්‍ය ශාලාව පුරා දෝංකාර දෙයි. නාට්‍ය කියැවීමට න්‍යාය ප්‍රායෝගිකව යොදාගන්නා තරමටම ඔබ පැටලෙනු ඇත. එනම් එතුළ පෙන්වන්නේ න්‍යාය ද අපභ්‍රංසයක් බවයි. විටෙක මනස උභතෝකෝටිකයක් ලෙස විග්‍රහ කරන ජිනදාස විටෙක උස් හඬින් සිනාසෙයි. විටෙක පීඩනයෙන් ගුගුරන ඔහු මරණය අභියස පොදු මිනිසාගේ ගැලවුම්කරුවා බවට පත්වෙයි. නපුංසක වේෂනිරූපන ශිල්පියා තම රැකියාවේම එක් නිර්මාණයකි. කැමරාකරු කැමරා කාචයෙන් මෙපිට තම පුද්ගලික ජීවිතය සාපයක් කරගත් අයෙකි. නමුත් ඒ කිසිවෙකුටත් හසු නොවන යථාර්ථය ගොඩනැගිල්ලේ උඩටම නගින ජිනදාස තවදුරටත් කණපිට හරවයි.
මාරාන්තික උපවාසය මාරක ළිඳේ සවාරියක් බවට පත්වීම විහිළුවකි. මාරාන්තික උපවාසයක් කියා දෙයක් නැත. ඇත්තේ එහි සවාරියක් පමණි. චේ ගුවේරා වැනිව පිටතට පැමිණි ජිනදාස ධනවාදයේ තවත් එක් ප්‍රපංචගත සංසිද්ධියක් පමණකි. එය Entertain කිරීම අපට අයත් වගකීමකි. පසුධනවාදය තුළ දැකගත හැකි අභියෝගය ද මෙයයි.
මෙම ගැටලුව කරුණු කිහිපයක් යටතේ සාකච්ඡා කළ හැකි යි.
- වෙළඳපල යාන්ත්‍රණයේ ලක්ෂනයක් වන තරගකාරීත්වය හා කරට කර ගැටීම.
- මනුෂ්‍ය සාරය අහිමි නොවන ලෙස මාධ්‍යකරණයේ යෙදීම.
- මාධ්‍ය නිදහස භාවිතා වන ආකාරය.
- විනිවිද බව සහ වගවීම.
- ජන මතය කෙරෙහි ඇති කරන බලපෑම.
සදාචාරය යන වචනය දර්ශනය විෂයේ ප්‍රධාන ලෙසම සාකච්ඡාවට ගැනෙනා මාතෘකාවකි. සදාචාරය, එසේත් නැත්නම් Morality නම් වචනයෙන් හැඳින්වෙන එය ආචාර ධර්ම (Ethics) යටතේ පුළුල්ව නිර්වචනය කෙරෙයි. එම දාර්ශනික මතවාදයන් වෙත නොගොස් මෙහි සරල අදහස ගතහොත් ආචාර ධර්ම යටතේ සාක්ච්ඡා කරන්නේ කළ යුත්තේ කුමක් ද යන්නයි. එනම් ඕනෑම පුද්ගලයෙකු විසින් සිදුකරන ක්‍රියාවක නිවැරදිබව සෙවීමයි. එනිසා මාධ්‍ය පමණක් නොවේ, ඕනෑම වෘත්තියකටම, ක්ෂේත්‍රයකටම අදාළව යම්කිසි ආචාරධර්ම පද්ධතියක් පවතින අතර, සදාචාරමය වටිනාකමක් ද ඒ සෑම වෘත්තියකටම අදාළයි.
සදාචාරය ලෙස මාධ්‍ය ආයතනය වගකීම ගැන සලකාබලන විට ඕනෑම අයෙකුට පොදුවේ සලකන කරුණ බවට පත්වන්නේ නිවැරදි වාර්තාකරණය ගැනයි. පුවත් මහජනයාට ලබාදීම, එහි නිරවද්‍යතාව, වගකීම්සහිත වීම, අවම හානියකින් යුතුව දැනුම ලබාදීම, ස්වාධීනත්වය වැනි කරුණු ඔබ මේ වනවිටත් දන්නා දේයි. නමුත් මෙම කරුණු වලින් බැහැරව තවත් අංශයක් කෙරෙහි මාධ්‍ය සදාචාරයේ හිස එසවිය යුතු ය. එනම් පුද්ගලයාට දැනුම ලබාදීමේ මාධ්‍යයක් ලෙස මාධ්‍ය කොතෙක් දුරට සාර්ථකද යන්නයි.
පසු ධනවාදය තුළ අත්විඳින දැනුම ගොඩනැගීමේ හිඩැස කෙසේ පිරවිය යුතු ද යන්න ගැටලුවකි. සත්‍ය හා නිවැරදිවත්, වගකීම් සහගත සහ හානි අවම කිරීමත් ස්වාධීන වාර්ථාකරණයේ ලක්ෂණ ලෙස ඕනෑම මාධ්‍ය භාවිතයක් තුළ සාපේක්ෂව දැකගත හැකි ය. උදාහරනයක් ලෙස මුහුණු පොත (Facebook) තුළ පුවත් වාර්ථාකරණයේ සදාචාරාත්මක බව එහි භාවිතයෙන් දැකගත හැකි ය. එයින් මෙහිදී අදහස් කරන්නේ එම පුවත් සෑමවිටම නිවැරදි බව නොවේ. නමුත් ඔබ සමාජ මාධ්‍ය භාවිතා කරන්නේ නම් තොරතුර ඔබට ලබාදෙන පුද්ගලයා මත එහි විශ්වාසනීත්වය ඔබ තහවුරු කරගන්නා බව පැහැදිලි ය. මාධ්‍යකරණයේ සීමාව බවට ද අරමුණ බවට ද පත්වන්නේ මෙයයි.
මෙහි ඇති අර්බුදය වන්නේ එකම මාධ්‍ය තුළ එකම පුවත අවස්ථා ගණනාවකදී භාවිත වන ආකාරය කෙතරම් මතභේදාත්මක ද යන්නයු. මෙය Trend එකක් ලෙස හැඳින්වූවාට වරදක් නැත. උදාහරණයක් වශයෙන් එකම පුවත අද උදයේ පලවන විට කුතුහලය දනවන කරුණක් නම්, වැඩිදුර විස්තර සමග එය හෙට දිනයේ පළවනවිට ජුගුප්සාජනක කරුණක් බවට පත්වේ. තුන්වන දිනය වනවිට එය රහස් පරීක්ෂණයක් වන අතර සිව්වන දිනයේ එයට අයිති Market Value එක තුළ නැත. එවිට මාධ්‍ය විසින් මෙම දැනුම නිවැරදි ලෙස ප්‍රජාව තුළ සාමාන්‍යකරණය කරන්නේ කෙසේ ද? දැනුම ගොඩනැංවීම සහ මතවාද ස්ථාපනය අතර වෙනස හඳුනාගැනීම වැදගත්වන්නේ මේ නිසා ය. ඉහත කී සත්‍ය හා නිවැරදි වීමත්, වගකීම් සහගත වීමත්, ස්වාධීනත්වයත් අතරම මතවාද ස්ථාපනය කිරීම සහ දැනුම ගොඩනැගීම අතර වෙනස හඳුනාගැනීම වැදගත් ය. සරලව පවසන්නේ නම් මාධ්‍ය භාවිතය පොදු මිනිසාට ලණුවක් නොවි ය යුතු ය. එයින් අදහස් වන්නේ මේ මොහොතේත් එය ලණුවක් යැයි චෝදනාවක් නොවේ. නමුත් පසු ධනවාදයේ එක් ලක්ෂණයක් වන්නේ මනුෂ්‍ය සවිඥානිකත්වය උඩු යටිකුරු කිරීමයි. එනිසා මෙය හුදෙක් සාමාන්‍ය තත්වය විග්‍රහ කිරීමක් ලෙස අවබෝධ කරගත යුතු ය.
දෙවනුව මනුෂ්‍ය සාරය අහෝසි නොවන ලෙස මාධ්‍යකරණයේ යෙදීම යනුවෙන් අදහස් කලේ මාධ්‍යකරණය තුළ ගුණාත්මකබව කොතරම් වැදගත් විය යුතු ද යන්නයි. Martha C. Nussbaum විසින් රචනා කරන ලද Not For Profit: Why Democracy Needs Humanities නම් කෘතියේ ඉහළ ගුණාත්මකභාවයකින් යුතු මානවයෙකුගේ ලක්ෂන දක්වා සිටියි. මෙම කෘතිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් 'කලාව කුමකට ද?: ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මානවශාස්ත්‍ර අධ්‍යාපනයේ කාර්යභාරය' යන නමින් සිංහලයට පරිවර්තනය කර තිබේ.
එහිදී රටකට බලපවත්නා දේශපාලනික කරුණු පිළිබඳව ඇති අවබෝධය, පුද්ගල විවිධත්වයනට ගරු කිරීමේ හැකියාව සහ ඔවුන්ව සමාන අයිතිවාසිකම් සහිත පුද්ගලයන් ලෙස හඳුනාගැනීමේ හැකියාව, රාජ්‍ය ප්‍රතිපත්ති තමා ඇතුළු අනෙකුත් ජනතාව කෙරෙහි ඇතිකරන බලපෑම පිළිබඳව වටහා ගැනීමේ සමත්කම, පුද්ගල ගැටලු පිළිබඳව පරිකල්පනය කිරීමේ හැකියාව, දේශපාලන නායකයන් පිළිබඳව සහ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව යථාර්ථවාදී අවබෝධයකින් යුතු වීම, සමස්ත රටේම යහපැවැත්ම ගැන සිතීමේ හැකියාව සහ අවසාන වශයෙන් තම රට සංකීර්ණ ව්‍යුහයක් තුළ වන කොටසක් ලෙසත්, බුද්ධිමය විසඳුම් රටේ ගැටලු වෙත ලබාදීමේ හැකියාවත් යන සාධක කෙරෙහි වැඩි අවධානයක් ලබාදී තිබේ.
ඉහත උපුටාගැනීමේ අන්තර්ගත වන්නේ අධ්‍යාපනය තුළ අපේක්ෂිත කරුණු වුවත්, එය ඒ ලෙසම මාධ්‍යකරණයට අදාළ කරගත හැකි ය. එමගින් වඩාත් වගකීමෙන් යුතු පුරවැසියෙකු නිර්මාණයට දායකත්වය දීමේ සදාචාරාත්මක කර්තව්‍යයට හවුල් වීමට මාධ්‍ය භාවිතය තුල හැකිවනු ඇත. නමුත් මෙමගින් අදහස් වන්නේ ලිබරල් තත්වයන්ගෙන් බැහැරව මාධ්‍යකරණය දැඩිව පාලනය කල යුතු ය යන අදහස නොවේ. නමුත් මාධ්‍යකරණයේ යෙදෙන පිරිස මෙම කරුණු පිළිබඳව සවිඥානිකව කටයුතු කිරීම ලංකාව වැනි තුන්වන ලෝකයේ රටක විමුක්තිය සඳහා වැදගත් වනු ඇත. පසු ධනවාදී ලෝකය තුළ මාධ්‍ය සදාචාරය පිළිබඳ සාකච්ඡා කිරීම ඉහත දැක්වූ පරිදි අතිශයින් මතභේදාත්මක වේ. නමුත් මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට අවශ්‍ය වූයේ මූලිකවම මාධ්‍යකරණයේදී ඇතිවන අභියෝගාත්මක කරුණු කිහිපයක් පිළිබඳවයි. එහිදී පසු ධනවාදී වෙළඳපොළ බලපෑම ඉක්මවා මාධ්‍යකරනයේ සුරක්ෂිතබව සහ අනන්‍ය බව තහවුරු කරගැනීම වඩාත් වැදගත් ය.
Member discussion