විද්‍යාව තුළ දර්ශනයේ අදාළත්වය පිළිබඳ විග්‍රහයක්

A Brief History of Time කෘතියේ කතුවර මහාචාර්ය ස්ටෙෆන් හෝකින් 2010 වසරේදී හාර්ෆෝඩ්ශයර්හි ගූගල් සයිට්ගයිස්ට් සමුළුවකදී තම අදහස් දක්වමින් කියා සිටින්නේ දර්ශනය මිය ගොස් බවයි. විශ්වයේ ස්වභාවය පිළිබඳ මූලික ගැටලුවලට විසඳුම් සෙවීම; Large Hadron Collider යන්ත්‍රය හෝ අවකාශ පර්යේෂනයන්හි දත්ත මත පදනම් නොවී සිදු කළ නොහැකි බවත් ඔහු පවසයි. Large Hadron Collider යනු ලොව විශාලතම යන්ත්‍රය වන අතර බොහෝ භෞතික විද්‍යාඥයින්ගේ අදහස වන්නේ මෙමගින් භෞතික විද්‍යාවේ මූලික ගැටලු වන, මූලික ද්‍රව්‍ය වස්තූන් අතර ක්‍රියාත්මකවන බලය සහ සහසම්බන්ධතාව, කාලය හා අවකාශය පිළිබඳ ගැටලුව, ක්වොන්ටම් යාන්ත්‍රිකය සහ සාපේක්ෂතාවාදය ආදියට පිළිතුරු සෙවිය හැකි බවයි. හෝකින් පවසන ආකාරයට: “Most of us don’t worry about the questions most of the time. But almost all of us must sometimes wonder: why are we here? where do we come from? Traditionally, these are questions for Philosophy, but Philosophy is dead.” මහාචාර්ය හෝකින් ප්‍රකාශ කරන්නේ දර්ශනවාදීන් විද්‍යාවේ (විශේෂයෙන් භෞතික විද්‍යාවේ) නූතන දියුණුවට සමාන්තරව වැඩි යමක් සිදුකර නොමැති බවයි. අපගේ දැනුම් ගවේෂණ ක්‍රියාවලිය ආලෝක කරන්නෝ විද්‍යාඥයෝ ය. එහිදී විශ්වය පිළිබඳව නව න්‍යායන්, විශ්වය තුළ අපගේ ස්ථානයත් ගැන නවතාවකින් යුතු පින්තූරයක් අප වෙත විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කෙරෙන බව හෝකින්ගේ මතයයි. ඉහතින් ඔහු සඳහන් කරන ලෙස විශ්වයේ සම්භවය හෝ එහි අපගේ පැවැත්ම යන ගැටලුවලට පිළිතුරු ඉදිරිපත් කිරීම සාම්ප්‍රදායික අර්ථය තුළ දර්ශනයේ එක් අරමුණක් බවට පත් වෙයි. නමුත් එහිදී දර්ශනය අසාර්ථක වී ඇති බව හෝකින්ස්ගේ මතයයි.

මහාචාර්ය හෝකින්ගේ මෙම අදහස ලොව පුරා ආන්දෝලනයක් ඇති කරලීමට සමත් විය. බොහෝ දෙනෙක් පවසන ආකාරයට හෝකින් මේ මතය තුළ තමාව නිෂ්ප්‍රභා කරගනියි. එනම්, ඔහු මෙහි ඉදිරිපත් කරන අදහස පැහැදිලි නිශ්චිතාර්ථ දනවන්නේ නැති බවයි. evolutionnews.org නම් වෙබ් අඩවියේ මේ ගැන අදහස් දක්වමින් ස්ටෝන් බෲක් සරසවියේ මහාචාර්ය මයිකල් එග්නර් පවසන්නේ තම බුද්ධිමය ශක්‍යතා ඉක්මවා යමින් අදාළ ප්‍රකාශය සිදු කිරීමට තරම් දාර්ශනිකමය කම්පනයක් තුළ හෝකින්ස් සිටි බවයි. මහාචාර්ය එග්නර්ට අනුව සමහරවිට හෝකින් අදහස් කළේ දර්ශනයේ පාරභෞතිකවාදය (metaphysics) තුළ විද්‍යාවේ දියුණුව හා සමගාමීව යමක් සිදු කර නොමැති බව විය හැකි ය. නමුත් ඇරිස්ටොටල් (ක්‍රි. පූ 385-323) හෝ ඇක්වයිනාස් (ක්‍රි. ව 1225-1274) වැනි දාර්ශනිකයන් ඉදිරිපත් කළ පාරභෞතිකවාදී අදහස් තවමත් නූතන විද්‍යාවන් තේරුම් ගැනීමේදී, විශේෂයෙන් ක්වොන්ටම් යාන්ත්‍රිකය තේරුම් ගැනීමේදී වැදගත් වන බව ඉහත වෙබ් අඩවියේ අදහස් දක්වමින් මහාචාර්ය එග්නර් ප්‍රකාශ කර සිටියි. කෙසේවෙතත්, මෙම ලිපියේ අරමුණ වන්නේ දර්ශනයේ කාර්යභාරය හා ක්‍රියාවලිය කුමක් ද යන්න ගැන අදහස් ඉදිරිපත් කිරීමත්, විද්‍යාව සහ දර්ශනය විෂය දෙකක් ලෙස ගෙන දැනුම් පද්ධති වශයෙන් හා භාවිතයේ ස්වරූපය ලෙස ඒවායේ පවතින සම විෂමතා පිළිබඳ සාකච්ඡා කිරීමයි.

මහාචාර්ය හෝකින්ගේ අර්ථයෙන් ඉවත්ව අප පැවතෙන්නේ කොහි සිටද යන ගැටලුව විග්‍රහ කිරීමට උත්සහ ගතහොත් සමහර අවස්ථාවල දර්ශනය තුළ එයට දෙන පදනම දේවධර්මවාදී එකකි. විද්‍යාව තුළ මෙයට නිශ්චිත පිළිතුරක් ලබාදීමට අසමත් වන්නේ නම්, දර්ශනය තුළ මෙයට අදාළ පිළිතුර අන්තර්ගත විය හැකි ය. එහිදී, දේවධර්මය යනු දර්ශනය තුළ එන එක් විෂය ක්ෂේත්‍රයක් පමණක් වන බව අප අවබෝධ කරගත යුතු ය. නමුත් මේ ගැටලුවට විද්‍යාව තුළ පිළිතුරක් සපයන්නේ නම් අනිවාර්යයෙන් ආනුභූතික පර්යේෂණයන්ට ලක් කළ යුතු ය. එසේ නම්, දේවධර්මයේ එන දෙවියන් වහන්සේ විසින් ලෝකය නිර්මාණය කළේ යැයි (Genesis, Chapter 1-3, The Book of Moses) එන ප්‍රකාශය ආනුභූතික පර්යේෂණයට ලක් කළ යුතු ය. නමුත් එය විහිළුවකි. එසේ නම් දේවධර්මය හා ආනුභූතික පරීක්ෂණ එකට ගලපන්නේ කෙසේ ද? දර්ශනය හා විද්‍යාව එකට ගැලපීමේදී ගොඩනැගෙන එක් ගැටලුවක් ලෙස මෙය සැලකිය හැකි ය. එනම් විධික්‍රමය පිළිබඳ ගැටලුවයි.

දෙවනුව, හෝකින් අසන ‘why are we here?’ යන ගැටලුවට දර්ශනය පිළිතුරු ලබා දීමට උත්සහ ගෙන ඇත. මෙම ගැටලුවේ සංයුතිය ගෙන බැලුවහොත්, විද්‍යාත්මක අර්ථකතනයන්ගෙන් බැහැරව, මනුෂ්‍යයෙකු ලෙස ලෝකය තුළ කෙනෙකු සතු වන යුතුකම් හෝ වගකීම් ලෙස හෝ, අරමුණු පිළිබඳව විමසන්නේ නම්, එහිදී විද්‍යාවට පිළිතුරක් ලබා දිය නොහැකි ය. සදාචාරය පිළිබඳ දර්ශනය, ආචාර විද්‍යාව, සද්භාවවේදය යනාදී ලෙස දර්ශනය තුළ සාකච්ඡා කරන්නේ මේ පිළිබඳවයි. අනෙක් අතට, විසිවන සියවසයේ දර්ශනය වන සාංදෘෂ්ටිකවාදී දර්ශනය තුළ මේ ගැටලුවට සාර්ථක පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරයි. ඔවුන් දක්වන්නේ නෛසර්ගිකව කෙනෙකුගේ ජීවිතයට අර්ථයක් හෝ අරමුණක් නොමැති බවත්, මිනිසා විසින්ම තමාගේ ජීවිතයේ අර්ථය හෝ අරමුණ ගොඩනගා ගතයුතු බවත් ය. එනම් තම ජීවිතයට අර්ථයක් සපයාගැනීම තමා විසින්ම සිදු කළ යුතු ය.

විද්‍යාව වටිනාකම් (values) පිළිබඳව අදහස් ඉදිරිපත් කරන්නේ නැත. එය ඉදිරිපත් කරන්නේ ලෝකය ක්‍රියාත්මක වන ආකාරය හෝ ලෝකය කෙසේ නිර්මාණය වී ඇතිද යන්න ගැන ආනුභවික දත්ත මත පදනම් වූ අදහස් සමූහයකි. එනිසා විද්‍යාව විසින් කිසිදු අවස්ථාවක යමක් සිදුවිය යුත්තේ කෙසේ ද යන්න ගැන පැහැදිලි නොකරයි. වඩාත් පැහැදිලි කරන්නේ නම්, විද්‍යාව තුළ ඉදිරිපත් වන්නේ යමක් කෙසේ සිදු වූයේ ද හෝ කෙසේ සිදුවනු ඇති ද යන්න ගැන ආනුභවික පැහැදිලි කිරීමක් පමණි. නමුත් දර්ශනය එයින් වෙනස් වන්නේ ආනුභවික තත්ත්වයන්ගෙන් ඔබ්බට ගොස් සියල්ලෙහිම පවත්නා මූලධර්මතා ගැන සාකච්ඡා කිරීමත් සමගිනි. එනිසා විද්‍යාව තුළ ඥානවිභාගීය ගැටලු, සද්භාවය හෝ තර්කය යන ඒවා අදාළ නොවේ. අනුභූතිවාදියෙක් වුවද ඥානවිභාගීය පදනමක් ඇති ගැටලුවකට පිළිතුරු සෙවීමේදී සහය ලබාගත යුත්තේ දර්ශනයෙනි. දර්ශනය හා විද්‍යාව යනු පරමාර්ථ ලෙසම එකිනෙකට වෙනස් දේ ය. එයින් එකක් දැනුම් පද්ධතියක් නිර්මාණය කරන අතර අනෙක එසේ කරන්නේ නැත. දර්ශනය යනු ලෝකය, මනුෂ්‍යයා, පැවැත්ම ආදී කොටගත් විවිධ දේ ගැන අදහස් ඉදිරිපත් කරන විෂයකි. දාර්ශනිකයාට අදහස් හා විශ්වාස පද්ධතියක් තිබේ. නමුත් නිත්‍ය ලෙස පවතින අදහස් හෝ විශ්වාසයක් දර්ශනය තුළ නැත.

‘විධික්‍රමයක් ලෙස’ සහ ‘භාවිතයක් ලෙස’ විද්‍යාව හා දර්ශනය

විද්‍යාව ආකාර දෙකකින් මූලික ලෙස හඳුනාගත හැකි ය. එනම් විධික්‍රමයක් ලෙස හා දැනුම් පද්ධතියක් ලෙසයි. විද්‍යාත්මක ක්‍රමය එහි විධික්‍රමයයි. එනම් උපන්‍යාසයක් ගොඩනගාගැනීමත්, එය පරීක්ෂණයට භාජනය කිරීමත් විධික්‍රමය ලෙස සිදු කරයි. නමුත් විධික්‍රමය කෙසේ කුමන ආකාරයකින් සිදු විය යුතු දැයි යන්න කොතැනක හෝ නිශ්චිතව ලියැවී නැත. එය පොදු එකඟතාවකට අනුව සැකසුනු පියවර කිහිපයකින් යුතු ක්‍රියාවලියකි. මෙහිදී සිදුවන්නේ ආනුභූතිකමය ගැටලුවලට ආනුභූතිකමය පිළිතුරක් සෙවීම පමණකි. එනම්, එමගින් ලබාගන්නා පිළිතුරු විද්‍යාවේ දැනුම් සම්භාරයක් ලෙස ගෙන පිළිගැනේ. එම දැනුම එක්තරා ආකාරයකට කරුණුමය හෝ න්‍යායාත්මකව ලෝකය ගැන මිනිසාට අවබෝධයක් ලබාදීම වෙනුවෙන් නිෂ්පාදිත ය. මේ දැනුම එකහෙළා පිළිනොගත්තත්, විද්‍යාව තුළ විධික්‍රමයක් යටතේ නිෂ්පාදනය වූ මෙබඳු දැනුමක් පවතින බව සෑම කෙනෙක්ම පිළිගන්නා කාරණාවකි. විද්‍යාව තුළ දැනුම කාලයත් සමග වෙනස් වීමත්, අනවශ්‍ය දෑ ඉවත් කර අත්‍යාවශ්‍ය දැනුම ඉදිරියට ගෙන යාමත් සිදු වේ. දර්ශනය තුළ මෙබඳු දෙයක් සිදුවීම දැකගත නොහැකි ය. බොහෝ දෙනෙක් දර්ශනය පිළිබඳව වැරදි අවබෝධයකින් පසුවන්නේ මේ හේතුවෙනි. එනම්, දර්ශනය තුළ ඊටම අනන්‍ය වූ දැනුම් පද්ධතියක් නියත වශයෙන් පවතින බව බොහෝ දෙනෙක් සිතති. නමුත් දර්ශනය තුළ එබඳු පරිපූර්ණ මෙන්ම ස්ථිර දැනුම් පද්ධතියක් දැකගත නොහැකි ය. දර්ශනය යනු සංශුද්ධ ලෙසම භාවිතයකි. (විශේෂයෙන්ම විධික්‍රමයක් මත පදනම් වූ දැනුම් පද්ධතියක් වන විද්‍යාව සමග සංසන්දනය කරනවිට).

විධික්‍රමය භාවිත වන්නේ නොනවත්වා නිෂ්පාදනය කළ යුතු දෙයක් සම්බන්ධව හෝ, රීති රෙගුලාසිවලට අදාළව ගැටලුවක් විසඳීමට යාමේදී පමණකි. එනම්, විද්‍යාව තුළ නිරන්තරයෙන් නිෂ්පාදනය වන දැනුම, ඊට පෙර බිහිවූ දැනුමක් මත පදනම්ව නොනවත්වා ඉදිරියට ගමන් කරයි. එහිදී එක් පදනම් දැනුමක් මත අනෙක ස්ථාවර වීම සිදු වේ. කිසියම් පර්යේෂණයක ප්‍රතිඵලය තීරණය වන්නේ ඊට පෙර සැකසූ දැනුමක් තුළ සිදු කෙරෙන ගවේෂණයන් මතයි. නමුත් භාවිතය එසේ සිදුවන්නක් නොවේ. භාවිතාව තුළ ඕනෑම අරමුණක් ළඟාකරගැනීමට හැකියාව පවතින අතර, එහිදී විධික්‍රමය තුළ ඇති සීමාසහිත නීති පද්ධතිය තුළ සිට ගැටලුව මෙහෙයවීම හෝ පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවක් ඇතිවන්නේ නැත. එසේ නම් එළඹගත යුතු අදහස් දෙකකි.

  1. විධික්‍රමය යනු භාවිතයේම එක්තරා ආරකි.
  2. නමුත් එය අනිවාර්‍යයෙන්ම එසේ විය යුතු නැත.

විද්‍යාව මෙන් නොව, දර්ශනය තුළ භාවිතය ඕනෑම දැනුමක් තුළ ගොඩනගාගත හැකි ය. නමුත් අනෙක් අතට එය සෑම විටකම පාහේ තවත් දැනුම් පද්ධතියක් හා සම්බන්ධව අභ්‍යුපගමනයන් නිර්මාණය කරමින් එයටම අනන්‍ය වූ ගැටලුවලට විසඳුම් සෙවීම සිදු කරයි. මේ අයුරින් බලනවිට දර්ශනය විෂය; ආගම, සාහිත්‍ය, ගණිතය, එමෙන් ම අන් සියල්ලකටම වඩා විද්‍යාව සමගත් ඉතිහාසය සමගත් සබඳතාවක් සහිත ය. බොහෝ විශ්ලේශී දාර්ශනිකයන් තම භාවිතය තුළ වෙනත් දාර්ශනිකයන්ගේ භාවිතයන් ආදේශ කර ගැනීමත්, සමකාලීන විද්‍යාව පිළිබඳ දැනුම එකතු කරගැනීමත් සිදු වේ. නමුත් විද්‍යාව විෂය, දර්ශනය ඉක්මවා ගොස් දර්ශනයේ කාර්යභාරය ස්වකීය පාලනයට ගෙන ඇති බව මෙයින් හැඟවෙන්නේ නැත. එමෙන්ම විද්‍යාව සහ දර්ශනය පූර්ව සොක්‍රටික යුගයේ පටන්ම එක්ව දැනුම ගොඩනගා තිබෙන අතර එය ඒ විෂයන් දෙකෙහිම අභිවෘද්ධියට හේතු වී තිබේ.

දර්ශනය, භාවිතය තුළ දර්ශන ඉතිහාසයේ ගොඩනැගුනු අදහස් නිරන්තර භාවිතයට ගැනෙයි. එනම් සමකාලීන දර්ශනය තුළ හෝ වේවා ප්‍රායෝගික භාවිතය තුළ හෝ වේවා ප්ලේටෝ (ක්‍රි. පූ . 428-348) වැනි ග්‍රීක දාර්ශනිකයෙකු හෝ බුද්ධි ප්‍රබෝධ යුගයේ සිටි එම්මැනුවෙල් කාන්ට් (1724-1804) වැනි දාර්ශනිකයෙකුගේ ඉගැන්වීම් සාකච්ඡාවට ගැනීමේ කිසිදු සීමාවක් නැත. එම දැනුම දර්ශනය තුළ යොදා ගැනෙන්නේ; විද්‍යාවේ දැනුම, පාරභෞතිකවාදය තුළ හෝ වේවා, ඥානවිභාගය තුළ හෝ වේවා, සද්භාවවේදය තුළ හෝ වේවා යොදාගත් අර්ථයෙන්ම ය. එනම්, ප්ලේටෝ හා කාන්ට් ගැන සමකාලීන සාකච්ඡාවට ගන්නා ආකාරයෙන්ම නව-ප්ලේටොනිකවාදය හෝ නව-කාන්ටියානුවාදය යන ඒවා ද සාකච්ඡාවට ගත හැකි ය. නමුත් ප්ලේටෝ, කාන්ට්, නව ප්ලේටොනිකවාදය හෝ නව කාන්ටියානුවාදය ආදිය එසේ සමකාලීන සාකච්ඡාවට ගැනෙන්නේ ‘දාර්ශනික ඉතිහාසය තුළ’ ගැටලුවලට පිළිතුරු ලබාදුන් දර්ශනවාද යන අර්ථයෙන් පමණි. නමුත් මෙය දර්ශනය තුළ නව දැනුමක් ගොඩනැගීම ලෙස සැලකිය නොහැක. එයට හේතුව නව දර්ශනවාදයක පදනම් දැනුම පවා මීට පෙර තිබූ දර්ශන ඉතිහාසයේ එන කාරණාවලින් බොහෝදුරට වෙනස් වන බැවිනි. නමුත් දර්ශනයේ ඉතිහාසයට අදාළව අප සාකච්ඡා කළ කාරණාවලට සමාන්තරව විද්‍යාව තුළ දී කෙනෙකු නිව්ටෝනියානු භෞතික විද්‍යාව ගැන සාකච්ඡා කරන්නේ නම් එය ද විද්‍යාවේ ‘මේ මොහොතට’ අදාළ නොවන ඉතිහාසයට අදාළ න්‍යායාත්මක (theoretical) හෝ කරුණුමය (factual) සාකච්ඡාවක් පමණකි.

සමහරවිට දර්ශනය තුළ නිශ්චිත වශයෙන් දැනුම් පද්ධතියක් දැකගත හැකි නොවන්නේ මේ නිසා විය හැකි ය. බොහෝ ශාස්ත්‍රීය අධ්‍යයනයන් දර්ශනයේ බලපෑම නිසා ඇති වූ ඒවායි. නමුත් දර්ශනය තුළ එන ගැටලුවලට නිශ්චිත හා බරපතල පිළිතුරු ලැබෙන තරමට එම ගැටලු දර්ශනයට අදාළ ඒවා බවට පත් නොවී වෙනත් නමක් ගෙන වෙන් වූ අධ්‍යයන ක්ෂේත්‍රයක් බවට පත් කරයි. විද්‍යාව ද එක්තරා කාල පරිච්ඡේදයක දර්ශනයෙන් වෙන් කල නොහැකි ලෙස පැවතුනි. පසුව එය දාර්ශනික තත්ත්වයන්ගෙන් වෙන්වී ගැටලුවලට තදින් එල්බ පිළිතුරු සෙවීම ආරම්භ කිරීමත් සමග එය දර්ශනයෙන් වෙන් වී වෙනත් විෂයක් ලෙස සංවර්ධනය විය. අනෙක් අතට දර්ශනය තුළ ගැටලුවකට නිශ්චිත වශයෙන් පිළිතුරක් ලබාදීම සිදු නොවේ. එනම් දාර්ශනික ගැටලුවකට සාර්ථක යැයි පිළිගත හැකි පිළිතුරක් ලැබෙන සෑම විටකම එම ගැටලුවේ ස්වභාවය වෙනස් වේ. ඒ අනුව යමින් අදාළ දර්ශනවාදය තුළ නව දැනුම් පද්ධතියක් අඩු වැඩි වශයෙන් සොයා යාම දර්ශනය තුළ සිදු වෙයි. එනම් දර්ශනය සෑමවිටම පිහිටන්නේ දර්ශනයේම සීමාවන් යැයි සැලකිය හැකි දෙයක් වේ නම් ඊට පිටතින් ය.

විද්‍යාවේ සීමාවෙන් පිට දර්ශනයේ කාර්‍යභාරය

අයෙක් දර්ශනය ඉගෙනගන්නේ නම්, ඒ නිශ්චිත පිළිතුරු බලාපොරොත්තුවෙන් නොවේ. එනම්, ඒ පුද්ගලයා දර්ශනය ඉගෙනගන්නේ අවබෝධය මත පදනම් වූ දැනුමෙන් ඔබ්බට ගිය තෘප්තියක් බලාපොරොත්තුවෙන් ය. එම අවබෝධය සෑමවිටම කරුණු මත පදනම් විය යුතු නැත. නමුත් එය සෑමවිටම දැනුමේ සීමාව, වටිනාකම් සහ අරමුණු හඳුනා ගැනීමටත්, අප සිතන ආකාරයත් අප ජීවත් විය යුතු ආකරයත් ගැන වැටහීමක් ලබාදෙන්නකි. සමහරවිට එය නියමයකින් තොර, නොපැහැදිලි තත්වයකි. එනිසා දර්ශනය යනු ප්‍රඥාව ලබාගැනීම වෙනුවෙන් කරන වෙහෙසවීමයි. මෙහිදී සමාජය කියැවීමේ මාධ්‍යයක් ලෙසත්, සමාජය මෙහෙයවන සමාජ දේශපාලනික සාධකයන් පිළිබඳව අවබෝධයක් ලැබිය හැකි මෙවලමක් ලෙසත් දර්ශනය සැලකිය හැකි ය.

පුද්ගලයෙකුගේ සමාජ දේශපාලන ජීවිතයට ‘මේ මොහොතේ‘ අදාළතාව විග්‍රහ කිරීමත් දර්ශනය තුළ සිදු කෙරෙයි. උදාහරණ ලෙස මේ මොහොතේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන දේශපාලනික සංස්ථාව හෝ ආයතනික පද්ධතිය, සමාජ සංස්කෘතිකමය සන්දර්භයන් විමසීමේදී දාර්ශනික චින්තාවක් තුළ ඕනෑම අයෙකුට විවේචනාත්මක දෘෂ්ටියකින් ඒ දෙස බැලීමේ හැකියාවක් ඇත. එනිසා විද්‍යාවේ සීමාවන්ගෙන් පිටත දර්ශනයේ පැවැත්ම රඳා පවතින්නේ මානවශාස්ත්‍ර විෂයන්ගේ ප්‍රායෝගික භාවිතය මතයි. එනිසා දර්ශනයේ දැනුම විධික්‍රමයකට යටත්ව සාකච්ඡා කිරීමට වඩා එම සීමාවන්ගෙන් පිටත සමාජීයමය වටිනාකමක් තුළ සිට කරන සාකච්ඡාව සමාජයට වඩාත් වැඩි අදාළතාවකින් යුක්ත බව පැහැදිලි ය.

අවසාන වශයෙන්, මෙරට මානව ශාස්ත්‍ර අධ්‍යනයන් අසාර්ථක වීමට බලපාන ප්‍රධාන හේතු වන්නේ දර්ශනය වැනි විෂයන්ගේ ඇති වටිනාකමත්, වර්තමානයට ඒවායේ ඇති අදළතාව හඳුනාගැනීමට නොහැකිවීමත් වැනි කාරණා ය. විශ්වවිද්‍යාලවල දර්ශනය අධ්‍යනාංශ තුළ නව දැනුම නිෂ්පාදනය පිරිහීමත්, ඔවුන් ලබාගන්නා දැනුම ජීවිතයෙන් පිට වෙනමම අවශ්‍යතා ගණනාවක් සපුරාලීමට පමණක් අදාළ වන සුදුසුකමක් වීමත් හේතුවෙන් ගුණාත්මකබවින් අඩු උපධිධාරීන් බිහිවීම සිදු වේ. රැකියා වෙළඳපළ කේන්ද්‍ර කරගත් අධ්‍යාපන රටාව මගින් තවත් එක් කුසලතා සහිත තරගකාරී සිසුවෙක් බිහිකරනවා හැරෙන්නට ඉහළ ගුණාත්මකබවකින් යුතු සවිඥානික විද්‍යාර්ථියෙකු බිහි නොකරයි. නිවැරදි මගපෙන්වීමක් සමග දර්ශනය වැනි විෂයන්ගේ වැදගත්කම ඉස්මතු කළ යුත්තේ මෙවැනි සන්දර්භයක් මත සිටයි. විද්‍යාවේ තාක්ෂණික දැනුමට ඔබ්බෙන් දර්ශනයේ කාර්යභාරය පිහිටන්නේ එබඳු තැනක බව අපගේ විශ්වාසයයි.